Sunday, March 01, 2026
Follow Us
දැන් මට නැහැ ඉඩ

හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ 

බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ 

පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ 

මල් මොකටද මට හිතෙනව විඩ විඩ 

වැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ 

පිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ 

බට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ 

අඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ 

ඇහැරෙන ලා හිරු රන් වන් පාටයි 

ඉගිලෙන විට කොක් තටු සුදු පාටයි 

හබරණ ආතගෙ කට රතු පාටයි 

කියවන විට පුතු හරි දඟ පාටයි  

බින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන් 

අපට පෙනෙන්නට වටයක් නටපන් 

කුහූ කියා කොවුලෝ ගී කියපන් 

මදිනම් තව මල් වැස්සක් වැහැපන් 

කොඳ මල මුදුනේ මී මැසි සාදෙට 

රොන් කෙමියේ පැණි පිරෙන කලාවට 

මගෙ හිත පුරවන ටිකිරි හිනාවට 

පණ දෙමි මම දිවි තියෙන තුරාවට

© Kalani Ruwanpathirana