Tuesday, January 13, 2026
Follow Us
සමහරක් ගැහැණු....?

ජීවිතේ මහ හීන ගොන්නක්
හිනාවීගෙන අත දරන්
ආදරේ මහ සාගරේ සේ
පපුව මැද්දේ හිර කරන්
පේවෙලා අතිනත් අරන් ගිය
දීගයේ රස තැන් සොයන්
අමාවක දා අහස පීරා
සෙව්වෙ සඳ හිත මත් කරන්..


තවත් සමහරක් ගැහැණු....?
හීන අහුලා බිඳී විසිරුණු
සිනාවක් මුව සරසවන්
මහා රෑ මැද සුසුම් හෙළුවා
සැඩ සුළං වලටත් වැරෙන්..
බිඳී විසිරී කෑලි කැඩි හිත
සෙනෙහසේ සුවඳක් සොයන්
නොදැනෙනා තැන් පසුකරන් ගොස්
නැවතුණේ පෙම් සුව පතන්..
තවත් ගැහැණුන්..?
ප්‍රේමයේ ගිළිහෙච්ච සළකුණු
පපුව මත්තේ හිරකරන්
දරු පැටව් වෙනුවෙන් හිඳීවී
මහා දුක් ගිණි උහුළමින්..
සුසුම් හෙළලා සුසානය ළඟ
අවසනා හුස්මෙත් ඉතින්
මහා දුක්බර කතා පපුවේ
සිනාවත් සින්නයි හදින්..
මොන විඳියට දුක් ඉහිළුවත් ඒ හැම ගැහැණියම...?
හීනෙනුත් හැබැහිනුත් පැතුවේ
ප්‍රේමයයි මහ ඉස්තරම්
පපුව පැළෙනා ප්‍රේමයක් ළඟ
ගෑණු සැනසෙයි සත්තකින්..
--------------------------------------------------------------------------
ගැහැණියක සෑම දිනකම පැතුවේ ප්‍රේමයම පමණක්ම බැව් ලියා තබමි..
ප්‍රාණය සම ප්‍රේමයක් තුළ ගැහැණු ආත්මවලට අත් හැරිය නොහැකි දෙයක් නොවන්නේය..❤️
✍️ චන්දිමා විජේසිංහ