Monday, January 12, 2026
Follow Us
මොනවා කරත් ඒ මගේ තාත්තා........

නීල කොබෙයි හදවත
පිහිපාරකින් සිදුරු වී තිබුණා
සාක්කියට කූඩුවට නගින්නට
කොබෙයි පැටියෙක් ඇවිත් තිබුණා


සතය මිස කිසිවක්ම නොකියමි
කොබෙයියා දිවුරුමක් දුන්නා
ප්‍රශ්ණ එක දෙක අහද්දී දෝ
උගේ ඇස් මත කදුලු රැදුණා
පුංචි කූඩුව තාම මතකයි
අම්මා තාත්තා මමත් හිටියා
ටවුමේ චන්ඩිම කපුටු රැලකට
තාත්තා මැදිවෙලා තිබුණා
කොබෙයියකු හට නොහොබිණා වැඩ
හුගක් තාත්තා අතින් කෙරුණා
නිල්පාට තටු ටිකෙන් ටික
දුර්වර්ණ වී කලුපාට පෙනුණා
අයිස් ගංජා හෙරොයින් අතරේ
තාත්තගේ නම උඩින් තිබුණා
පුංචි කූඩුව කඩා බිදදා
තට්ටු දෙකකට ගෙපල කැපුවා
මුල්ගල තිබ්බ දා හවසක
පුංචි සාදයක් තිබුණා
බීමත්ව සිටි චන්ඩි කපුටෙක්
තාත්තාගේ පපුවටම ඇන්නා
වාහනේකට උස්සලා දාද්දිත්
පණ කෙන්ද එහි රැදී තිබුණා
මගේ අත ඔහු තදින් අල්ලා
සමාවෙයන් මට පුතේ කිව්වා
පහුවදා දොළ්හයේ කණිසමට
රෝහලේ දොර ඇරී තිබුණා
මෝචරියෙ සුදු රෙද්දකින්
තාත්තගේ දෙණ වසා තිබුණා
අවිගත්තෝ අවියෙන්ම නසියි
ධම්ම පදයේ එහෙම තිබුණා
මිනීමැරුවත් ඒ අපේ තාත්තා
කොබෙයි පැටියෙක් මහ හඩින් ඇඩුවා.......
Waruna Jayasinghe
VJ