Friday, May 17, 2024
Follow Us
වෙද සිසු සමයේ

"දුඟදම" දිනය එය විය
මතක් වන විටත්
ඔක්කාරය ඇතිවෙන
හතරවන වසරේ


පැරසිටෝලොජි
කාගේත් ප්‍රියතම විෂයකි
එනමුත් එදා දවසේ නම්
පණුවන් අප්පිරියාම විය !
උත්තර ලියන ප්‍රශ්න පත්තරය
තරමක් අමාරුය
පණුවන්ගේද මැක්කන්ගේද
ග්‍රීක නම් පාඩම් කරගැනිම
දහම් පාසැලේ පාලි ගාථා වලටත් වඩා අමාරුය
රිකට්සියා ෂුට්ෂුගමූසී
එන්ටරෝබියස් වර්මිකියුලාරිස්
වුචරේරියා බැන්ක්‍රොෆ්ටි
අම්මෝ ......දිව උලුක් වී
කුනුහරපත් කියැවෙන නම්ය !
මේවා පණුවන්ට දැම්ම එකාගේ
මව්පියන් සහ නෑ හිතවතුන්ටද
අපි නොසෑහෙන තරම් එකල පින් දුන්නෙමු
ලියන විභාගයට පසු
ජීවිතයේ මුහුණ දුන් ගදම විභාගය එළඹින
ඒ කක්කා වල
පණු බිත්තර හොයන පරීක්ෂණයි
Stool test for worms !
පණු බිත්තර සහිත අසූචි භාජනයක්
විභාගය පැවැත්වූ පැරසිට් ලැබ් එකේ
දොරකඩ අසලම මේසයක විය
අපි එකිනෙකා පැමින
එහි රදවා ඇති කූරකින්
අසූචී හොදින් කලතා කලවම් කර
වීදුරු කදාවක තවරා ගත යුතුය !
විනාඩි දෙක තුනක්
අනාපානසති භාවනාව මෙන්
අප පුරුදු කල භාවනාවක් දන්නා අයට
එතැනදි වමනය නොයා ඉන්නට පුළුවන
ඒ හුස්ම ගනිමි හුස්ම හෙලමි ලෙස
ආශ්වාස ප්‍රාශ්වාස කරමින් නොව
ආශ්වාස කල හුස්ම නැවත පිට නොකර
හැකි තරම් වේලා අසූචි කලවම් කරන තුරු
රදවාගෙන සිටිනා සමථ භාවනාවකි!
මම එහි කෙළපැමිනියෙකු වීමි !!
මගේ අංකයට අදාල අන්වීක්ෂය ලගට ගොස්
කදාව රදවා කක්කා වල පණු බිත්තර සෙවීමේ
මහා මෙහෙයුම ඇරඹුවෙමි
පණුවෙක් බිත්තරයක්.ඇමීබාවෙක් දුට විගස
අසල ඇති බෙල් එක ගැසිය යුතුය
එවිට පරීක්ෂක මහතකු පැමින අපේ කදාවේ
අපි zoom කර ඇති පණු බිත්තරය බලා
එය අප නිවැරදිව හදුනාගෙන ඇත්නම්
ලකුණු ලබාදෙයි.
අසූචි ගොඩක පණුබිත්තරයක් සෙවීම
කුණු කානුවකට වැටුනු මැණිකක්
සොයනවා වැනිය
මැණික් ගොඩක් හම්බවෙන එකා
පණු කෝටිපතියෙකි !
එයට පූරවේ කල පින්ද බලපායි !
විභාගය පටන් ගෙන
විනාඩි දෙක තුනක් ගතවුනා පමනි.
විභාග ශාලාවේ තැනින් තැන සීනු වදින්නට විය
හරියටම නත්තතල් ආවා වැනිය !
මට විනාඩි පහක් සෙවූවද
කළුනික සොයනවා මෙන් කිසිවක් හමුවුනේ නැත
අසූචි සාගරයම පමනි !
මගේ දෙපස සිටි මිතුරන් දෙදෙනාද
අවුරුද්දට තරඟයට බයිසිකල් රේස් පදිනවා මෙන්
එක දිගට සීනු නාද කරති !
මගේ දැන් ඇගම ගැහෙන්නේය
එකම පණුවෙක් වත් නැත්තේ මට විතරද ?
මම නැවත ගොස් තවත් කදාවක
අසූචි පටලයක් සකසාගෙන ආවෙමි
අන්වීක්ෂයට ඇස තබන්නට පෙර
මම පණුවන්ට පොරොන්දුවක් වුනෙමි
" විශ්ව විද්‍යාල සමය අවසන් වන තුරුම
මම පණු බෙහෙත් නොබොමි.
කිසිම පණුවෙක් නොමරමි
බඩේ පණු උද්‍යානයක් සදමි
පණුවන්ට දානයක් දෙමි
කිරිපණුවා නමින් මහ බඩවැල නම් කරමි ! "
ඉන්පසු
අන්වීක්ෂයට ඇසේ කළුඉංගිරියාව
පූසෙකුගේ තරම් විසාල කර තැබීමි !
Enterobius Vermicularis !
Entamoeba histolytica !
Ascaris lumbricoides !!
දෙයියනේ
පණුවන් පණු බිත්තර දකින දකින අතය !
මම සීනුව එක දිගටම ගහගෙන ගහගෙන ගියෙමි
මොකද පණු අමාරුවක් හැදිලද ??
බෙල් එක කඩන්න හදන්නේ ??
විභාග පරීක්ෂක මහතකු පැමිනියේ
මට බැන වදිමිනි !!
වෙද සිසු දිවියේ දුඟදම දිනය ⁣එලෙස නිමාවිය !
එතකොට පණුවන්ට උන පොරොන්දුව ?????
රසික සඳරුවන්