Friday, March 29, 2024
Follow Us
Lifestyle

ඔබ සාමාන්‍ය තරමේ ආදායමක් ලබන මධ්‍යම පාංතිකයෙකු නම් මේ ගෙවෙන්නේ ඔබ මධ්‍යම පාංතික ජීවන රටාවක් ගත කරන අවසාන කාල සීමාව වන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා.


ඇත්ත වශයෙන් ම 'මධ්‍යම පංතිය' කියලා සංකේතවත් කරන්නේ ම කිසියම් ජීවන රටාවක් හෙවත් lifestyle එකක්. ඒ ජීවන රටාව හා බැඳුණු තෝරාගැනීම් ටිකක් තියෙනවා. ඒ තෝරාගැනීම්වලට ඔබ පුරුදු වී ඉන්නවා. ඒ තෝරාගැනීම්වලින් තොරව ඔබට ජීවත් වෙන්නට අමාරුයි.
උදාහරණයක් විදියට ඔබ බස් එකේ වැඩට යන එන කෙනෙකු නම්, බස් නැවතුම තියෙන්නේ ඔබේ ගෙදර සිට කිලෝමීටර් දෙකක විතර දුරින් නම් ඔබට මහන්සි දවසට හෝ බොහෝ රෑ බෝ වුණු දවසට ඒ කිලෝමීටර් දෙක ත්‍රිරෝද රථයකින් යන්න පුළුවන්. ඔබේ ආදායමට එය දරන්න බැරි දෙයක් නෙවෙයි. ඒ කිලෝමීටර් දෙක ත්‍රිරෝද රථයකින් යෑම කියන තෝරාගැනීම ඔබේ මධ්‍යම පාංතික ජීවන රටාවේ කොටසක්. ඔබ කරන ඒ තෝරාගැනීම ටවුමේ සිටින සපත්තු මහන්නාට හෝ කසළ එකතු කරන්නාට කරන්න පුළුවන්කමක් නැහැ.
නමුත් මෙතැනින් පස්සේ ඔබ කොතරම් වෙහෙසට පත් වෙලා හිටියත්, කොතරම් අසනීප වී සිටියත්, කොතරම් රෑ බෝ වුණත්, කොතරම් විශාල බරක් උස්සාගෙන සිටියා වුණත් ඔබට ඒ කිලෝමීටර් දෙක පයින් ඇවිදින්නට වෙනවා.
ඒකට හේතුව කිලෝමීටර් දෙකක් ත්‍රිරෝද රථයකින් ‍යාම කියන එක ඔබට තවදුරටත් දරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ටවුමේ සපත්තු මහන්නාට සහ කසළ එකතු කරන්නාට වගේ ම ඔබටත් කෙතරම් අමාරුවෙන් හෝ ඒ දුර ප්‍රමාණය පයින් ඇවිදීම හැර වෙන කළ හැකි දෙයක් නැහැ.
ඒ වගේ ම ඔබට දරන්න පුළුවන් මට්ටමේ ගාස්තුවක් අයකරන්න ත්‍රිරෝද රථ රියැදුරාට පුළුවන්කමක් ඇත්තේත් නැහැ. ඒකට හේතුව ඒ සඳහා යන ඉන්ධන වියදම ඔහුටත් දරන්නට බැරි නිසා. ඔබ වගේ ම ත්‍රිරෝද රථ රියැදුරාත් මෙහි වින්දිතයෙකු වෙනවා.
මෙතෙක් කල් අත්‍යවශ්‍ය ම ඖෂධ නැති නිසා පවුලේ සමීපත ම සාමාජිකයන් මියයන ආකාරය අසරණව බලා ඉන්නට සිදු වුණේ සමාජයේ දුප්පත් ම මිනිසුන්ට විතරයි. මධ්‍යම පාංතිකයන්ට ණය වී හෝ ඒ ඖෂධ මිලදී ගෙන තමන් ගේ පවුලේ අය සුවපත් කිරීමේ තෝරාගැනීම කරන්න පුළුවන්කම තිබුණා.
තවදුරටත් ඔබට ඒ තෝරාගනීම කරන්න පුළුවන්කමක් නැහැ. එක අතකින් ඔබට තවත් ණය වෙන්නට පුළුවන්කමක් නැති වීම මෙහි එක පැත්තක්. ඒ වගේ ම අනෙක් පැත්තෙන් ඔබට අවශ්‍ය ඖෂධ වෙළෙඳපොළේ සොයාගන්නටත් නැහැ. ඒ නිසා සමාජයේ දිළිඳු ම මිනිසුන්ට වගේ ම ඔබටත් තමන්ට අවශ්‍ය කරන බෙහෙත් නොමැතිව තමන් ආදරය කරන අය සෙමෙන් සෙමෙන් මියයන හැටි වේදනාත්මකව බලා ඉන්නට සිදුවෙනවා. ඔබේ මධ්‍යම පාංතික 'තෝරාගැනීම' ඔබට අහිමි වෙනවා.
කෑම බීම වල සිට අනෙක් හැම මූලික අවශ්‍යතාවක් දක්වා ම මේ සංසිද්ධිය පැතිරෙනවා.
මේ ආණ්ඩුව විසින් සිදුකරපු මේ ආර්ථික ව්‍යසනයේ ප්‍රතිඵලයක් විදියට ලංකාවේ මධ්‍යම පංතියෙන් සැළකිය යුතු පිරිසකට තමන් ගේ මධ්‍යම පාංතික ජීවිතය අහිමි වෙනවා.
අද ලංකාව කියන්නේ ආසියාවේ වැඩි ම උද්ධමන වේගයක් පවතින රටයි. බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබෙනවා. ටැක්සි මීටරයක් මෙන් බලාගෙන සිටින විට බඩු මිල ඉහළ යනවා.. එහෙත් මේ බඩුමිල ඉහළ යන වේගයට සාපේක්ෂව ආදායම වැඩි වෙන්නේ බැහැ. වැටුප් වැඩිවෙන්නේ නැහැ. වැටුප් වැඩි කරන්නට පුළුවන්කමක් ඇත්තේත් නැහැ.
පැය හයකටත් වඩා පවතින විදුලි කප්පාදුව නිසා කර්මාන්ත, නිෂ්පාදනය, ව්‍යාපාර බිඳ වැටෙනවා. ආදායම් අහිමි වෙනවා. ඵලදායීතාව අහිමි වෙනවා. මේ සමග විශාල ප්‍රපාතයකට මුළු සමාජයක් ම ගමන් කරනවා.
මෙය නවත්වන්නට තිබුණු කාලය මේ වන විට ගත වී අවසානයි. මෙය නැවැත්විය හැකිව තිබුණු කාලයේ ඒ වෙනුවෙන් වැඩි ම පීඩනය එල්ල කළ හැකිව තිබුණේත් මධ්‍යම පාංතියටයි. එයට හේතුව සමාජයේ දිළිඳු ම ස්ථරවලට වඩා මේ අර්බුදය කල්තියා දැකීමේ හැකියාව මධ්‍යම පංතිය සතුව පැවතීමයි. ඒත් අර්බුදය දකිනවා වෙනුවට ඔවුන් රාජපක්ෂලා විසින් මැවූ සුරංගනා ලෝකයේ මත් වී සිටියා.
ඔබ ඉතා ම කම්පාවට පත් විය යුතු කාරණය වන්නේ උතුරේ සහ දකුණේ යුද්ධ දෙකක් ඇවිළී රට දෙකොණ ඇවිළෙන විලක්කුවක් වී තිබුණු කාලයේවත් මේ තරම් විශාල කඩාවැටීමක් නිර්මාණය නොවීමයි.
කොටින් ම මහ බැංකු ගොඩනැගිල්ල සුන්බුන් ගොඩක් බවට පත් කළ වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා අවුරුදු 30ක් ඇතුළත ලංකාවේ ආර්ථිකය මේ මට්ටමට විනාශ කරන්නට බැරිවුණා.
ඒත් අවුරුදු දෙකක් තුළ එක අදක්ෂ, මෝඩ සහ අමන ආණ්ඩුවක් ඒ තරම් විශාල විනාශයකට රට ඇදගෙන ගියා.
අඩු ම තරමේ දැන්වත් රටේ පුරවැසියන් මේ ප්‍රශ්නයේ ගැඹුර තේරුම් ගත යුතුයි. ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතිව එයට උත්තර හොයන්නට බැහැ.
ගිය මාසය පමණ වෙන තුරු එළිපිට ම බංකොළොත් ආණ්ඩුවට කඩේ ගිය, තවමත් හොර රහසින් ආණ්ඩුවට ප්‍රේම කරන අමනයන් පිරිසක් මේ දවස්වල "විසඳුම් ඉදිරිපත් කරන්න" යැයි අන් අයට කියනවා. මේ අසමත් ආණ්ඩුවේ ඇමතිවරුන් පවා ඒ දෙය ම කියනවා.
ඇත්තට ම මේ මොහොතේ රටේ ජනතාව ගේ සතුරන් වන්නේ මේ තරම් විශාල අගාධයකට රටක් ඇදගෙන ගිය ආණ්ඩුවකට යටිහිතෙන් ප්‍රේම කරන ගමන් අන් අයට "විසඳුම් ඉදිරිපත් කරන්න" යැ‍යි කියන දේශපාලන තක්කඩින් පිරිසයි.
එයට හේතුව මේ බංකොළොත් ආණ්ඩුවට වඩා වඩා විධිමත් පාලනයක් යටතේ ලංකාවට පුළුල් ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නට යන විට එය කඩාක්කප්පල් කරන්නට මූලිකත්වය ගන්නේ ද ඔවුන් ම වීමයි. ජාතිවාදය, ආගම්වාදය, බටහිර කුමන්ත්‍රණ, IMF භීතිකාව වැනි බිල්ලන් මවමින්, දුස්තොරතුරු වපුරමින් ඔවුන් ඒ කඩාකප්පල් කිරීම සිදුකරන්නට උත්සාහ දරන බව පැහැදිලියි.
ඔවුන් මේ වෙලාවේ දේශපාලන චිත්‍රය තුළ ඉන්න විසකුරු බලවේගයක් හෙවත් toxic element එකක්.
මේ විසකුරු බලවේගයට දිය හැකි තිත්ත ම බෙහෙත් ලබා දී නැවත දේශපාලනිකව හිස ඔසවන්නට බැරි වෙන ලෙස ඔවුන් මතවාදීව මුලිනුපුටා දැමිය යුතුයි.
ඉදිරි වසර 10ක කාලය තුළ ක්‍රියාත්මක කළ හැකි පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් ගැන සමාජයේ පුළුල් එකඟත්වයක් අපට ඇති කරගත හැක්කේ එයින් පසුවයි.
-
රසික ජයකොඩි
26 - 03 - 2022
#lka #SriLanka #life