Saturday, July 27, 2024
Follow Us
තිස්සමහාරාම මුලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ
හම්බන්තොට දිස්ත්රික්කයේ තිස්සමහාරාම මුලික රෝහලේ රුපියල් මිලියන 50 ක වියදමින් ස්ථාපිත කරන ලද නව ඔක්සිජන් උත්පාදන බලාගාරය (OXYGEN GENERATION PLANT) සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.

සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව, ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ග්රාමීය ජනතාවට ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවාවක් ලබාදීම මුලික අරමුණ කරගෙන සෞඛ්ය අමාත්යාංශය දිස්ත්රික් මට්ටමින් සිදුකරගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම කටයුතු සිදු කෙරිණි

සෞඛ්ය අමාත්යාංශයේ මැදිහත්විම සහ යුනිසෙෆ් සංවිධානයේ ආධාර මත තිස්සමහාරාම මුලික රෝහලේ ස්ථාපිත කරන ලද මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය (OXYGEN GENERATION PLANT) මගින් මසකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 900 ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. රෝහලේ අවශ්යතාවය මසකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 53 ක් පමණ වන අතර, හම්බන්තොට දිස්ත්රික්කයේ රෝහල් සදහා මාසයකට ඔක්සිජන් අවශ්යතාවය ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 250 ක් පමණ වේ. තිස්සමහාරාම මුලික රෝහලට ඔක්සිජන් සිලින්ඩර් සහ Liquid (දියර) ඔක්සිජන් මිලදී ගැනීම මසකට ලක්ෂ 03 ක පමණ වියදමක් දැරීමට මීට පෙර සිදුව තිබුනි.
මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය මගින් සෘජුවම රෝහලේ වාට්ටු සහ හදිසි ප්රතිකාර ඒකක සදහා ඔක්සිජන් ලබාදීමේ හැකියාව පවතින අතර, අතිරික්ත ඔක්සිජන් දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්රික්කයේ රෝහල් වෙත ලබාදීමට ද නියමිතය. තිස්සමහාරාම මුලික රෝහල ද ඇතුළුව නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල, අවිස්සාවෙල්ල දිස්ත්රික් මහ රෝහල, උඩුගම මුලික රෝහල, කෑගල්ල දිස්ත්රික් මහ රෝහල ආදී වශයෙන් රෝහල් 05 ක මෙලෙස ඔක්සිජන් උත්පාදක ඒකක මේ වන විට පිහිටුවා ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා කියා සිටියේ තිස්සමහාරාම රෝහලේ ස්ථාපනය කරන ලද මෙම ඔක්සිජන් උත්පාදක ඒකකය තුළින් රෝහලේ සහ දිස්ත්රික්කයේ ඔක්සිජන් අවශ්යතාවය සපුරාලිය හැකි බවයි. රෝහලට අත්යාවශ්යව ඇති දැඩිසත්කාර ඒකක ගොඩනැගිල්ල සහ ඊට අදාල උපකරණ වලට අදාල ඇස්තමේන්තු සකස් කර දෙන ලෙසත් ලබන වසරේ අයවැය ප්රතිපාදන තුල ඊට අදාල කටයුතු සිදු කරන බවයි.
එන්ඩොස්කොපි යන්ත්රයක් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 50 ක මුදලක් ලබාදෙන බවත්, රෝහලේ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 30 ක් සහ පල්දෝරු ක්රමය සදහා රුපියල් මිලියන 80 ක් ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්ය ලේකම්වරයා මෙහිදී පැවැසීය.