Tuesday, April 30, 2024
Follow Us
තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 25ක් 

මෙම වසරේ කෘෂි අංශයේ නව්‍යකරණය වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රුපියල් බිලියන 25ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

මෙම මස 18 දිනට යෙදෙන  ජාතික පැළ සිටූවීමේ නැකතට අවශ්‍ය පලතුරු පැළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවක මණ්ඩලවලට ලබා දීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයෙන් වැඩි ඵලදාවක් ලබා ගැනීමට නම් නව තාක්ෂණය කෘෂි අංශයට හදුන්වා දිය යුතුය. විශේෂයෙන් සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය තුළින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අසීරුය. එමෙන්ම එමගින් ගොවි ජනතාවට ඉහළ ආදායමක් ද ලබා ගැනීම දුෂ්කර වී තිබේ. මේ නිසා තරුණ ප්‍රජාව මෙරට කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවය පවතී.

නමුත් කෘෂිකර්මාන්තය යනු ආදායම් ඉපයිය හැකි වෘත්තියක් නොවන බවට හැඟීමක් මෙරට තරුණ ප්‍රජාව තුළ ඇත. එමනිසා මෙරට කෘෂිකර්මාන්තය කෙරෙහි තරුණ ප්‍රජාවගේ විශ්වාසය යළි තහවුරු කර ඔවුන් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා නව කෘෂිකාර්මික තාක්ෂණය හඳුන්වා දීම සඳහා කෘෂි නව්‍යකරණ වැටසටහන් හදුන්වා දී තිබේ.

පසුගිය වසරේ හම්බන්තොට , මොනරාගල, ගාල්ල , වවුනියාව හා කුරුණෑගල දිස්ත්‍රික්කවල තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ක්‍රමය ආරම්භ කළ අතර මේ වනවිට එම වැඩපිළිවෙළ අතිශය සාර්ථක වී තිබේ.

මේ නිසා දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200ක අඩුම තරමින් ගම්මාන 200ක් තෝරාගෙන ඒවා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වේ. විශේෂයෙන් ඩ්‍රෝන තාක්ෂණය ලබා දීම, වී වගා කිරීම සඳහා පැරසුට් තැටි භාවිත කිරීම, ජල සම්පාදනය සදහා විසිරි ජල තාක්ෂණය මෙන්ම බින්දු ජල වාරිමාර්ග ක්‍රමය භාවිත කිරීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බීජ වගා කිරීම මෙන්ම වෙළෙදපල ඉලක්ක කරමින් ගුණාත්මක භාවයෙන් ඉහළ බෝග වගා කිරීම හා වගාව සඳහා ආරක්ෂිත ගෘහ ලබා දීම වැනි වැඩසටහන් රැසක් මේ යටතේ හඳුන්වා දීමට නියමිත බව ද අමාත්‍යවරයා  මෙහිදී පැවසීය.

මීට අදාළ ව තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් බව ද සඳහන් කළ අමාත්‍යවරයා මෙම වසර සඳහා මෙම වැඩසටහනට රුපියල් බිලියන 25ක මුදලක් ලබා දීමට  ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බව ද සඳහන් කළේය.