Monday, May 06, 2024
Follow Us
රිය අනතුරුවලදී වන්දි ලබා ගැනීමේ ක්‍රමයේ වෙනසක්

රිය අනතුරු වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලද මාර්තු 01 වනදා ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

ඒ අනුව අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යරවයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රිය අනතුරු අවම කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් රිය අනතුරු වින්දිතයන් ගැටලු රැසකට මුහුණ දෙන බව අප හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ රක්ෂණ ආයතන අතර පවත්වනු ලැබූ සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙල මාර්තු 01 වනදා ආරම්භ කළා. මෙම වන්දි ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ මාර්තු 01 වනදා සිට ඉදිරියට පමණයි.

අතීතයට බලපැවැත්වෙන පරිදි එය සිදු වන්නේ නැහැ.

ඒ අනුව අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් යම් වින්දිතයකු එම උපරිම වන්දි මුදලට වඩා වැඩි මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදු වෙනවා.

මෙම ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් ග්‍රාම සේවා නිලධාරීන් දැනුවත් කර තිබෙනවා."