Saturday, July 27, 2024
Follow Us
කීරි සම්බා හිඟයට පියවර
ගුනනොළපැලැස්ස මැටිගත්වල ප්රදේශයේ අක්කර 100ක මෙවර පළමුවරට කීරි සම්බා වී වගා කිරීමට ගොවීන් පිරිසක් කටයුතු කළේය. මෙම කීරි සම්බා වගාව ඊයේ (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ  නිරීක්ෂණයට ලක්විය.
 
මේ වනවිට අප රට තුළ සම්බා හා නාඩු සහල් සහ වී ජාතික අවශ්යතාවයත් ඉක්මවා ඇති නමුත් කිරී සම්බා සහල්වල හිඟයක් පවතී. ඊට හේතුව 2022 මහ කන්නයේ දී කීරි සම්බා වී වගා කිරීමට ගොවීන් නොපෙළඹීමයි. මේ හේතුවෙන් රට තුළ විශාල කීරි සම්බා හිඟයක් ඇති විය.
 
මේ නිසා රජය විසින් කීරි සම්බා සහල්වලට විකල්පයක් වන වෙනත් සහල් යම් ප්රමාණයක් ආනයනය කිරීමට පියවර ගන්නා ලදී.
 
කීරි සම්බා යනු මුළුමනින්ම දේශීය වී වර්ගයකි. BG-360 යනුවෙන් බතල‌ෙගාඩ වී පර්යේෂණායතනය විසින් නිපදවන ලද කීරි සම්බා මේ වනවිට අපේ රටේ ජනප්රියම සහල් විශේෂය වේ.
මේ වනවිට අප රටේ සහල් අතරින් වැඩිම ඉල්ලුමක් ඇති සහල් වර්ගය කීරි සම්බා වේ. එමනිසාම මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර් 80,000ක කීරි සම්බා වගා කිරීමට කටයුතු යොදනු ලැබීයැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එම වගාවෙන් අඩු තරමින් මෙට්රික් ටොන් 350,000ක වී අස්වැන්නක් අපේක්ෂිතය.
 
පසුගියදා මැටිගත්වල ප්රදේශයේ කීරි සම්බා වී වගාව නිරීක්ෂණය කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය.
 
කීරි සම්බාවලට අපේ රටේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. දැනට රට තුළ සම්බා හා නාඩු සහල් මෙන්ම වී ඇති තරම් තිබෙනවා. මෙම මහ කන්නයේ දී විශාල වී අස්වැන්නක් අපිට ලැබෙනවා. මෙවර කීරි සම්බාත් විශාල ප්රමාණයක් වගා කර තිබෙනවා. නමුත් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න නම් අපි කීරි සම්බා වගාව තවදුරටත් ව්යාප්ත කළ යුතුයි. ඉදිරි මහ කන්නය වනවිට හම්බන්තොට දිස්ත්රික්කයේ තවත් කුඹුරු හෙක්ටයාර් 500ක පමණ අපි කීරි සම්බා වගාව ව්යාප්ත කරනවා.
 
හම්බන්තොට දිස්ත්රික්කයේ මින් පෙර කිසිම කන්නයක කීරි සම්බා වගා කළේ නැහැ. පළමුවරට මෙවර අක්කර 100ක වගා කළා. ඒක ඉතාමත් සාර්ථකයි. මේ ගොවි ජනතාවට ඉතාමත් සතුටුයි. අක්කරයකින් වී බුසල් 110 ඉක්මවු අස්වැන්නක් ඔවුන්ට ලබා ගැනීමට පුලුවන්. ඒ වගේම කෘෂිකර්ම අමාත්යාංශය හා රජය වශයෙන් කීරි සම්බා වගාව තවදුරටත් ව්යාප්ත කිරීම සඳහා ලබා දිය හැකි සියලුම සහයෝගය මෙම ගොවීන්ට ලබා දෙනවා යැයි ද අමාත්යවරයා සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්රික්කයේ මින් පෙර වැඩිපුරම වගා කළේ වැඩිම වී අස්වැන්නක් ලැබෙන At 362 නැමැති රතු කැකුළු විශේෂයයි. ඒක අම්බලන්තොට වී පර්යේෂණායතනය හඳුන්වා දුන් දේශීය වී වර්ගයක් යැයි ද අමාත්යවරයා කීය.