Saturday, July 27, 2024
Follow Us
ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඉඩම්  ඔප්පු  ලබාදීමට  සැලසුම්

උපන් බිමේ  උරුමය තහවුරු කරමින් මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට   සින්නක්කර ඔප්පු  ලබාදීමට  සැලසුම් කර ඇති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.‍

උරුමය ඉඩම් ඔප්පු  ලබාදීමේ  දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබඳව  ලංකා  මහවැලි අධිකාරියේ පසුගියදා (22)  පැවති  සාකච්ඡාවකදී  අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ,  සංකල්පයකට අනුව දීපව්‍යාප්තව ක්‍රියාත්මක "උරුමය" ඉඩම් ඔප්පු ලක්ෂ 20 ලබාදීමේ ජාතික  වැඩසටහනට  සමගාමීව,  මහවැලි  බලප්‍රදේශ 10  ආවරණය කරමින්, මෙම සින්නක්කර  ඉඩම් ඔප්පු   ප්‍රදානය කිරීමට  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම සාකච්ඡාවේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  පෙන්වා දුන්නේ  සිය උපන්  භූමියේ  හිමිකම ලබා දීම   තුළින්    මහවැලි ගොවි ජනතාවගේ  ආර්ථික හා සමාජීය  සංවර්ධනය  ශක්තිමත් කිරීමට එය මහඟු පිටිවහලක් වන බවයි.

මේ වන විට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්  සියලු  කලාපවල ජනපදිකයින් වෙනුවෙන්  බැහැර කර  ඇති  ඉඩම් කොටස් ගණන 315,529 කි.

එයින්  2024 ජනවාරි 30 දිනට  ලබා දී ඇති ප්‍රදාන පත්‍ර  ගණන 219,372 ක් වන අතර  ලබා දී  ඇති  අවසර පත්‍ර ගණන  48,881  වේ.

ඒ අනුව  මේවන විට    "දීමනා පත්‍ර" ලබාදී ඇති ජනපදිකයින් ගෙන්    නිරවුල්ව  භුක්ති විඳින ඉඩම් කොටස්   (207000)  දෙලක්ෂ හත් දහසක්  වෙනුවෙන්     එහි ඊළඟ පියවර වන "නිදහස් දීමනා පත්‍ර" හෙවත්  සින්නක්කර ඔප්පු  ලබා දීමට  සැලසුම් කර තිබේ.

මෙහිදී මහවැලි ඉඩම් අධ්‍යක්ෂ    ඩී.එම්.පී.බී දිසානායක මහතා  පැවැසුවේ   ප්‍රදාන පත්‍ර සහ   අවසර පත්‍ර  ලබා දී  ඇති සෙසු   ගොවි පවුල් සඳහා නියමිත නිර්ණායකවලට අනුකූලව   අදියර කිහිපයක්  යටතේ  සින්නක්කර ඔප්පු ප්‍රදානය කර අවසන් කිරීමට  පියවර ගෙන ඇති බවයි.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ,  කෘෂිකාර්මික  හා පදිංචියට ලබා දී  ඇති ඉඩම්,   විධිමත් පරිදි  සංවර්ධනය කර, නිරවුල් ව භුක්ති විඳින ගොවි පවුල්වලට අයත් ඉඩම් සඳහා   මෙම සින්නක්කර ඔප්පු ලබාදීම සිදුකෙරෙන බව ද හෙතෙම  සඳහන් කළේය.

මේ වන විට  මහවැලි කලාප  10 තුළ  සින්නක්කර ඔප්පු  හය දහසක්  සූදානම් කර තිබෙන අතර  එය  නුදුරු දිනෙකදී මහවැලි ගොවි ජනතාවට ප්‍රදානය කිරීමට   සැලසුම් කර තිබේ.

 සින්නක්කර ඔප්පු ලබාදීම  තුළින්   මහවැලි ජනපදිකයින් සතු ඉඩම්වලට නව  වටිනාකමක්  හිමිවන අතර  ඔවුන් ගේ ආර්ථිකය  ශක්තිමත් කර ගැනීම සඳහා එම  ඉඩම් කෘෂිකාර්මාන්තය අශ්‍රිත හෝ වෙනත්  වානිජ කටයුතු සඳහා   යොදා ගැනීමට ද  අවස්ථාව හිමිවේ.

උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික  වැඩපිළිවෙළ යටතේ සින්නක්කර ඔප්පු  ලක්ෂ 20 ක් ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ  අභිලාෂය වී තිබේ.

එම  වැඩසටහන  යටතේ   සින්නක්කර ඉඩම්  ඔප්පු 10000 ක් පසුගියදා දඹුල්ලේ දී  ගොවි ජනතාව වෙත    ප්‍රදානය කරනු ලැබීය.