Saturday, July 27, 2024
Follow Us
දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනයක් ඇරඹේ

උසස් තත්ත්වයේ දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනයක් ලෙසින් වැනේඩියම් ලංකා ආයතනය සිය මෙහෙයුම් කටයුතු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ආරම්භ කෙරිණි. 

මෙම වැනේඩියම් ලංකා ලිමිටඩ් කර්මාන්ත ශාලාව 2019දී ආරම්භ කරනු ලැබුවත් රටේ පැවති ආර්ථික අර්බුද හමුවේ එහි නිෂ්පාදන සිදු කළ හැකි මට්ටමට කර්මාන්ත ශාලාව අවසන් කරනු ලැබුවේ මේ වසරේදී වන අතර ඒ අනුව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු මෙලෙස ආරම්භ කිරීම සිදුවිය. 

වැනේඩියම් ලංකා ලිමිටඩ් ආයතනය Solid Force නම්  උසස් තත්ත්වයේ දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමට විශේෂිත වන අතර අන්තර්ජාතික වෙළදපොලේ ෆෝක්ලිෆ්ට් සදහා මෙම ටයර් අපනයනය කරනු ලබයි. ඔවුන් පාරිභෝගික අවශ්‍යතාවයට අනුව දෘඪ ටයර් වර්ග තුනක් නිෂ්පාදනය කරන අතර අද වන විට යුරෝපිය වෙළදපොළට මුලික වශයෙනුත් රුසියාව, සිංගපුරුව ආදී යුරෝපයෙන් බැහැර රටවල සඳහාත් සිය නිෂ්පාදන අපනයනය කිරීම සිදුකරනු ලබයි. 

මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේ ලෝකය තුළ දැනට දෘඪ ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් අපේ රට හිමිකොට ගෙන ඇති තත්වය මෙවැනි කර්මාන්තායතනයන් ආරම්භ කිරීම සමගින් තවදුරටත් ප්‍රවර්ධනය වන බවත් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට එය රුකුලක් වන බවත්ය. 

එමෙන්ම  චීනය සහ ඉන්දියාව යන විශාල වෙළෙඳපොළවල් දෙක වෙනුවෙන් අප නිෂ්පාදනයන් කිරීමට එළඹිය යුතු බවත් , වැවිලි ක්ෂේත්‍රය , ඇගළුම් ක්ෂේත්‍රය මෙන්ම අනෙකුත් සියළු කර්මාන්ත ක්ෂේත්‍රයන් නව වෙළෙඳපොළ තත්වයන්ට ගැළපෙන අයුරින් , අගය දාම එකතු කිරීම් සමගින් අපනයන ආදායම් වැඩිකරගැනීමට රටක් විදියට කටයුතු කළයුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.