Thursday, February 05, 2026
Follow Us
බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය ලැබෙයි

ඉදිරි මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රාජයේ වාණීජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇත.

එකී මිල ගණන් මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සැලකිල්ලට ගෙන රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස 03 ක කාලයක් සඳහා මෙම බිත්තර ආනයනය සිදු කෙරේ.