Saturday, October 03, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් පෝෂණ සමුළුව පැවැත්වෙයි

"පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 33,600ක මුදලක් 2026 වසරේදී රජය වෙන් කර තිබෙනවා"

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 33600 ක මුදලක් රජය වෙන්කර ඇති බවත්, එම වැඩසටහන රටේ සෞඛ්‍යය සහ දේශීය ආර්ථිකය නඟාසිටුවන පුළුල් වැඩපිළිවෙළක් දක්වා ගෙන යාම රජයේ අරමුණ වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2026.10.02 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවති "ජාතික පාසල් පෝෂණ සමුළුව 2026" සඳහා එක්වූ අවස්ථාවේදී අධ්‍යාපන, අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2026 වර්ෂය වන විට පාසල් 8,990 ක් තුළ සිසුන් මිලියන 1.5 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ වැඩසටහනක් බවට පත්වී ඇත. මෙම වැඩසටහනේ ව්‍යාප්තිය, ඉදිරි ක්‍රියාමාර්ග සහ පර්යේෂණ දත්ත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා Save The Children ආයතනය ඇතුළු පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම පාසල් පෝෂණ සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම පාසල් පෝෂණ සමුළුව වීමද විශේෂත්වයකි.

මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන හා සම්බන්ධ පාර්ශවකරුවන් අතර අන්තර් සම්බන්ධතාවය වර්ධනය කර ගනිමින්, පෝෂණ වැඩසටහනේ තිරසරභාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය තීරණවලට එළඹීමයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියාය.

අපේ රටේ හැම පළාතකම පාසල් තුළ ඉගෙන ගන්නා බොහෝ දරුවන්ට මේක තමයි දවසට ලැබෙන විශ්වාසවන්තම සහ පෝෂ්‍යදායීම කෑම වේල. රජයක් වශයෙන් මෙම වැඩසටහන පවත්වාගෙන යන්නේ ,හැම දරුවෙකුටම හොඳින් දවස පටන් අරන්, තමන්ගේ අධ්‍යාපන ගමන විශ්වාසයෙන් කරගෙන යන්න අපි දෙන මූලික අවස්ථාවක් විදියට .

මේ වෙනකොට පාසල් 8,990ක දරුවන් ලක්ෂ 15කට අධික ප්‍රමාණයකට මෙම අවස්ථාව ලැබෙනවා. අපි 2026 අවුරුද්දේ මේ වෙනුවෙන් රුපියල් මිලියන 33,600ක් වෙන් කරලා තියෙනවා. මිනිස්සු දැඩි කැපකිරීම් කරලා ජීවත් වෙන කාලයක, බදු ගෙවන ජනතාවගේ මේ මුදල් වියදම් කරද්දී , ඒ හැම රුපියලක් ගැනම අපි වගකියන්න ඕනේ.

එමෙන්ම,මෙම වැඩසටහන අපේ රජය විසින් සිදු කරන ලොකුම ආයෝජනයක් ලෙස අප සලකනවා. අතීතයේදී මෙය කුසගින්න නිවන වැඩසටහනක් පමණක් වුණාට, දැන් අපි මේක දිහා බලන්න ඕනේ අපේ රටේ තියෙන බෝ නොවන රෝග සහ සෞඛ්‍ය අභියෝගවලට විසඳුමක් විදියටයි. මන්දපෝෂණය සහ වර්ධනය බාල වීම අවම කිරීම සම්බන්ධයෙන් අප සැලසුම් සකස් කරමින් සිටින මොහොතක අපේ ඉලක්ක ගැන අපි වඩා බැරෑරුම්ව සිතිය යුතු වෙනවා.

දරුවොත් කැමතියි සෑම දවසකදීම විවිධත්වයක් තියෙන රසවත් කෑම වේලක් කන්න. ඒ නිසා මේ කෑම වේල අපේ කෘෂිකර්මාන්තයට, අපේ ධීවරයින්ට, සහ අපේ සමුපකාර ක්‍රමයට සෘජුවම සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම අපේ ප්‍රජාවේ ඉන්න අම්මලාව ආර්ථිකව සවිබල ගන්වන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.

දරුවන්ට ආහාර නාස්තිය ගැන, තිරසාර ආහාර පද්ධති ගැන උගන්වන්න වගේම, කෘෂිකර්මාන්තය සහ පෝෂණය පැත්තෙන් අලුත් වෘත්තීය මාර්ග ගැන හිතන්නත් මේක ආරම්භයක් කරගත යුතුයි. ඒ නිසා සම්ප්‍රදායික රාමුවලින් පිටතට ඇවිත්, අපේ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන අලුත් ආකෘතියක් මෙම වැඩසටහන් වෙනුවෙන් ගොඩනැගීමට මෙහි පැමිණ සිටින සියලුම පාර්ශවකරුවන්ගේ සහාය ඉදිරියේදීත් අපට අවශ්‍ය වෙනවා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරී ඩේවිඩ් මයර්ස්, Save the Children සංවිධානයේ ප්‍රධාන නිලධාරී මයිකා ඕලඩ් යන මහත්වරු ඇතුළු පාසල් පෝෂණ වැඩසටහන හා සම්බන්ධ ආයතනයන්හි පාර්ශවකරුවන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහභාගී වූහ.