Sunday, September 20, 2026
Follow Us
“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ඇරඹේ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කළ නමුත් ස්ථිර නිවසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ඊයේ (19)  බදුල්ල, හාලිඇල, පට්ටියගෙදරදී ආරම්භ කෙරිණි.

 

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව ක්රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පළමු අදියරේදී නිවාස 270ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා නිවාස 1000ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.
 
එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙන් කර තිබේ.
 
මෙම වැඩසටහනේ ජාතික සමාරම්භක අවස්ථාවට සමගාමීව අද පස්වරුවේ බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී තෝරාගත් යතිවර මාපියන් වෙත හිමිකම් පත්ර 40ක් ප්රදානය කිරීම ද සිදු කෙරිණි.
 
අතිපූජ්ය මහාසංඝරත්නය ඌව පළාත් සභා පරිශ්රයේ සිට බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය දක්වා පෙරහැරකින් වැඩම කිරීමෙන් අනතුරුව මෙම හිමිකම් පත්ර ප්රදානය සිදු විය.
 
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තම දරුවන් සසුනට පූජා කළ මව්පියන්ගේ නිවාස අවශ්යතා සපුරාලීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
 
මෙම අවස්ථාවන් සඳහා අතිපූජ්ය මහාසංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා ඇතුළු රාජ්ය නිලධාරීන්, පළාත් පාලන ආයතන ප්රධානීන් සහ ප්රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.