රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මුලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් පේදුරුතුඩුව මුලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක් පුරා දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර, එම ගැටළුවට විසදුමක් ලෙස මෙම හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීමට තීරණය කර ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ රජයේ වැඩටහන යටතේ උතුරු පළාත් සභාවේ අරමුදල් භාවිතා කරමින් මෙම ඉදිකිරීම් සිදුකිරීමට සැලසුම් කර ඇත.
රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක වේ.
මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, පළාත් ප්‍රධාන ලේකම් ප්‍රමුඛ නිලධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද එක්වීමට නියමිතය.