ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතියද, එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීම පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ තරුණියන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් “ඉදිකිරීම් සහකාරවරුන්” ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතැම් රැකියා සඳහා “කම්කරුවන්”, “අත්වැඩකරුවන්” සහ “අත්උදව්කරුවන්” වැනි තනතුරු නාම භාවිත වීම, එම රැකියා සම්බන්ධයෙන් සමාජය තුළ ප්‍රමාණවත් ගෞරවයක් හා අභිමානයක් ගොඩනැගී නොතිබීම මෙන්ම, විධිමත් සේවා කොන්දේසි, EPF සහ ETF වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නොමැති අවිධිමත් රැකියා ලෙස පැවතීම ද තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයෙන් ඈත්වීමට බලපාන කරුණු ලෙස හඳුනාගෙන ඇත.
එම බාධක ඉවත් කරමින්, නිශ්චිත ආදායමක්, ගෞරවනීය තනතුරු නාමයක්, සේවා සුරක්ෂිතතාව සහ අභිමානය සහිත රැකියාවක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව, ජාතික ඉදිකිරීම් සංගමය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
වැඩසටහනේ සමාරම්භය ලෙස, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හඳුනාගත් මහවැලි සී කලාපයේ තරුණයින් 40 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම සඳහා පුහුණුව අද (14) අඹේපුස්ස සිංහ රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජනක පල්ලෙකුඹුර, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත හේරත් සහ ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දින පහක් පුරා අඹේපුස්ස යුද්ධ හමුදා කඳවුරේ නේවාසිකව පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුම, රැකියාවකදී පවත්වාගත යුතු වෘත්තීය හැසිරීම් හා විනය, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ඇතුළු ක්ෂේත්‍රයට අවශ්‍ය මූලික දැනුම හා කුසලතා ලබාදීමට නියමිතය.
පුහුණුව සාර්ථකව අවසන් කරන තරුණ තරුණියන් “ඉදිකිරීම් සහකාරවරුන්” ලෙස හඳුන්වා දෙමින්, ස්ථිර වැටුපක්, EPF සහ ETF ඇතුළු සේවා ප්‍රතිලාභ සහ අනෙකුත් දීමනා සහිත ආකර්ෂණීය රැකියා අවස්ථා සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් වෙත සෘජුවම යොමු කිරීමට නියමිතය.
මෙම වැඩසටහන මගින් එක් අතකින් ඉදිකිරීම් කර්මාන්තයේ පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලබාදීමටත්, අනෙක් අතට රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය ගෞරවය, ආදායම් ස්ථාවරත්වය සහ සමාජ ආරක්ෂණය සහිත නව රැකියා මාර්ගයක් හඳුන්වාදීමටත් අපේක්ෂා කෙරේ.