රටක් ලෙස පොදු සිහිනයක් නිර්මාණය වෙමින් පවතින බවත් පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත් කිරීම රජයේ අරමුණ බවත් "සිහින ගමනාන්තය" (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන "සිහින ගමනාන්තය" (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය, සැප්තැම්බර් 10 වැනිදා මහජනතාව සඳහා විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ශ්‍රී ලංකා දාවුදි බෝරා සංගමය විසින් රුපියල් මිලියන 60ක මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද දුම්රිය ස්ථානය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිමවන ලද දුම්රිය ස්ථානයේ නව පිවිසුම් ගුවන් පාලම අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමිය, කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යබහුල මෙන්ම ජනතාවට ඉතා හුරුපුරුදු ස්ථානයක් වන බම්බලපිටිය දුම්රිය ස්ථානය මෙලෙස නවීකරණය කර ජනතාව වෙත ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් බෝරා ප්‍රජාව වෙත විශේෂ ස්තුතිය පුද කරනවා.
මෙවැනි පොදු ස්ථාන නවීකරණය කර ජනතාවට වඩාත් යහපත් පහසුකම් ලබා දීම තුළින් අද වනවිට පොදු ප්‍රවාහනය පිළිබඳ ජනතාව තුළ පෙරට වඩා උනන්දුවක් සහ යහපත් හැඟීමක් ඇති වෙමින් පවතිනවා.
ජනතාවගේ අවධානය හා ආකර්ෂණය දිනා ගනිමින් පොදු ප්‍රවාහන සේවාවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ස්තුතිය පළ කළ යුතුයි.
රටක දියුණුව තීරණය වන්නේ එහි පවතින පෞද්ගලික වාහන සංඛ්‍යාව මත නොවෙයි. ජනතාව පොදු ප්‍රවාහනය භාවිත කරන ආකාරය මතයි. මෙතෙක් ජනතාව කළකිරීමට පත් කර තිබූ පොදු ප්‍රවාහන සේවය දියුණු කර, පෞද්ගලික වාහනයකට වඩා පොදු ප්‍රවාහනය පහසු හා ආරක්ෂිත බව ජනතාවට දැනෙන තත්ත්වයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවාව වෙනුවෙන් රජය වැඩි මුදලක් වෙන් කිරීමෙන් පොදු ප්‍රවාහනයට රජය ලබා දී ඇති ප්‍රමුඛතාව පැහැදිලි වනවා. එම වැඩපිළිවෙළේ තවත් විශේෂ පියවරක් ලෙසයි, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය හා එක්ව සංවර්ධනයට දායක වන "සිහින ගමනාන්තය" (Dream Destination) වැඩසටහන ද ක්‍රියාත්මක වන්නේ.
රටක් කියන්නේ ආණ්ඩුවට විතරක් අයිති දෙයක් නෙවෙයි. රටක් කියන්නේ ඒ රටේ ජීවත් වන හැමෝගෙම පොදු නිවහනයි. ඒ නිවහනට තමන්ගේ දැනුමෙන්, ශ්‍රමයෙන් හෝ සම්පත්වලින් දායක වීම අපි හැමෝගෙම වගකීමක්. මෙතෙක් කාලයක් අපේ රටේ අපි සියලු දෙනාට පොදු සිහිනයක් තිබුණේ නැහැ. දැන් ඒ සිහිනය නිර්මාණය වෙමින් යන බව අපට දැනෙනවා.
අපට තිබෙන්නේ සාමූහික සිහිනයක්. ඒ සිහිනය කරා යන ගමන තමයි, අපේ නිවහන වන මේ රට ගොඩනැඟීම සඳහා අප සියලු දෙනා එක්ව ආරම්භ කර ඇති මේ සාමූහික ගමන.
අද මෙහිදී අප දකින්නේ ඒ ගමන වෙනුවෙන් අපේ ජනතාවගේ, අපේ විවිධ ප්‍රජාවන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ සක්‍රීය සහභාගීත්වයයි. රටක් ඉදිරියට ගෙන යාමට නම් එවැනි සාමූහික සහභාගීත්වයක් අත්‍යවශ්‍යයි. ඒ නිසාම, මේ සහභාගීත්වය අපි ඉතා ගැඹුරින් අගය කරනවා.
බෝරා ප්‍රජාව අද අපට මතක් කර දෙන්නේත් මේ සාමූහිකත්වයේ වැදගත්කමයි. අපි මේ වන විට ආරම්භ කර ඇත්තේ සාමූහික ගමනක්. අපේ රට කෙබඳු විය යුතුද, අපේ රටේ අනාගතය කෙබඳු විය යුතුද, අපේ රටේ ජීවිතය කෙබඳු අත්දැකීමක් විය යුතුද යන්න පිළිබඳව අපට ඇත්තේ එකිනෙකා හා බෙදාගත් සාමූහික සිහිනයක්. ඒ වගේම Clean Sri Lanka ජාතික වැඩසටහන හරහා ඒ අරමුණු තව තවත් ශක්තිමත් කෙරෙනවා. යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.