Thursday, September 10, 2026
Follow Us
වසර 24කට පසු ඉදිකිරීම් යළි ආරම්භ වූ මතුගම විදේශ සේවා ගොඩනැගිලි සංකීර්ණය

2002 වර්ෂයේදී මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කළද, වසර 24කට අධික කාලයක් පුරා ඉදිකිරීම් කටයුතු නතර වී තිබූ මතුගම පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බස්නාහිර පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (09) යළි ආරම්භ කෙරිණි.

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී, එම මධ්‍යස්ථානයේ පුහුණුව ලබන විගමනික ශ්‍රමිකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීම අරමුණු කරගනිමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති තුන්මහල් නේවාසික ගොඩනැගිල්ලේ සහ දෙමහල් ආපනශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කෙරිණි.

මෙම ගොඩනැගිලි ඉදිකිරීම වසර 24කට අධික කාලයක් නතර වී තිබීම හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වීමට පෙර පුහුණුව ලබන විගමනික ශ්‍රමිකයින්ට අවශ්‍ය නවාතැන් හා ආහාරපාන පහසුකම් සැපයීමේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබිණි. එමෙන්ම, ගොඩනැගිලි කිසිදු ඵලදායී ප්‍රයෝජනයකට නොගෙන දිගු කාලයක් අතහැර දමා තිබීම හේතුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා බාහිර ස්ථාන කුලී පදනම මත ලබාගැනීමට සිදුවීමෙන් කාර්යාංශයට වාර්ෂිකව සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කාර්යාංශයේ දීපව්‍යාප්ත පළාත් හා දිස්ත්‍රික් කාර්යාල මගින් ලබාදෙන මහජන සේවාවන් පුළුල් කිරීමේ නව රජයේ වැඩපිළිවෙළට සමගාමීව, දිගු කලක් අක්‍රියව පැවති මෙම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පාලනාධිකාරියට උපදෙස් ලබාදී තිබිණි.

ඒ අනුව, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 272ක මුදලක් වෙන් කර ඇති අතර, ඉදිකිරීම් කටයුතු සඳහා දින 460ක කොන්ත්‍රාත් කාලයක් ලබාදී තිබේ. ඒ අනුව, ව්‍යාපෘතිය 2027 දෙසැම්බර් 13 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විදේශ රැකියා සඳහා පිටත්වීමට පෙර පුහුණුව ලබන විගමණික ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය නවාතැන් හා ආහාරපාන පහසුකම් සැලකිය යුතු ලෙස පුළුල් කර වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත.

එමෙන්ම, දැනට බාහිර ස්ථාන කුලී පදනම මත ලබාගැනීම සඳහා කාර්යාංශයට දැරීමට සිදුවන වියදම් අවම කර ගැනීමටත්, වසර ගණනාවක් අක්‍රියව පැවති රාජ්‍ය සම්පත් ඵලදායී ලෙස ජනතා සේවයට යොදා ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා, සාමාන්‍යාධිකාරී එස්.එම්.එස්.ඩී. ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.