හක්ගල කේන්ද්ර කරගනිමින් භූගෝලීය පිහිටීමට ආවේණික ශාක සංරක්ෂණ මධ්යස්ථානයක් සහ විද්යාගාරයක්
පරිසර සංරක්ෂණය තහවුරු කරමින් සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය උදෙසා හක්ගල උද්භිද උද්යානය ආශ්රිතව නව සංවර්ධන ව්යාපෘති රැසක් ක්රියාවට නැංවීමට අදාළව, පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් හක්ගල උද්භිද උද්යානයේ විශේෂ ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවක් ඊයේ දින(28) සිදු කරන ලදී.
පරිසර අමාත්යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, ජාතික උද්භිද උද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාවේදී ප්රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු විය.
එහි දී හක්ගල ප්රදේශයේ පවතින සුවිශේෂී භූගෝලීය පිහිටීම මත එම ප්රදේශයටම ආවේණික වූ විශේෂ ශාක වර්ග සංරක්ෂණය කිරීම වෙනුවෙන් ශාක සංරක්ෂණ මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ඒ ආශ්රිත පර්යේෂණ සිදු කිරීම සඳහා මූලික විද්යාගාරයක් (Basic Laboratory) ස්ථාපිත කිරීම සහ ඊට අදාළ සැලසුම් සැකසීම සඳහාත්, දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගනිමින් ස්වභාවික සෞන්දර්යය සුරැකෙන පරිදි නව ඇවිදින මංතීරු (Walking Trails) සහ කුඩා අඩිපාරවල් ඔස්සේ නිර්මාණය වන නව පරිසර කලාපයක් ස්ථාපිත කිරීමත් මූලික සාකච්ඡා සිදු කෙරිණ.
හඳුනාගත් දුර්ලභ හා ආවේණික ශාක විශේෂ සංරක්ෂණය සඳහා හරිතාගාර ඉදිකිරීම මෙන්ම, එම ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ තොරතුරු අධ්යයනය කිරීමට මහජනතාවට සහ පර්යේෂකයන්ට පහසුකම් සලසා දීම මෙන් ම ස්වභාවික පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ස්වභාවධර්මයේ සුවය විඳිමින් නිදහසේ හුස්ම ගත හැකි 'ශුන්ය විමෝචන' කලාපයක් ලෙස මෙම පරිශ්රය සංවර්ධනය කිරීම සඳහාත් සාකච්ඡා සිදු කරන ලදී.
ස්වභාවික පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් තිරසර සංචාරක කර්මාන්තය නංවාලීම සහ කඳුකර ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වන අතර, ඊට අදාළ විධිමත් යෝජනාවලිය කඩිනමින් ක්රියාත්මක කිරීමට අවශ්ය උපදෙස් ද නිලධාරීන් වෙත ලබා දෙන ලදී.