Tuesday, August 25, 2026
Follow Us
වරකාපොල - අඹේපුස්ස විකල්ප මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ
දිවයිනේ වඩාත්ම භාවිත වන ප්රවාහන මාර්ග අතර ඇති කොළඹ - නුවර (A001) ප්රධාන මාර්ගයේ වරකාපොල නගරය ආශ්රිතව පවතින අධික රථවාහන තදබදයට විසඳුම් වශයෙන් වරකාපොල නගරය සහ අඹේපුස්ස මංසන්දිය අතර ඉදිකෙරෙන විකල්ප මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඊයේ දින ( 24) නිල වශයෙන් ආරම්භ කෙරිණ. ඒ ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙනි.
කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරනු ලබන වාහන සංඛ්යාවේ වර්ධනයත් සමග වරකාපොල නගරය ආශ්රිතව පවතින අධික රථවාහන තදබදය හේතුවෙන් අධික කාලයක් ගතවීම, අනවශ්ය ඉන්ධන පරිභෝජනය, මාර්ග භාවිත කරන්නන්ගේ අනාරක්ෂිත බව සහ නගරාශ්රිතව සිදුව ඇති පරිසර ගැටළු ආදියට විසඳුම් වශයෙන් මෙම විකල්ප මාර්ගය යෝජනා විය.
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශයේ සේවා යෝජකත්වයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් ඉදිකිරීම් සිදුකෙරෙන අතර, විකල්ප මාර්ගයේ දිග කිලෝමීටර් 2.32 කි. එක් මංතීරුවන් මීටර් 3.5 බැගින් පළල මංතීරු දෙකකින් සමන්විත වරකාපොල - අඹේපුස්ස විකල්ප මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 4,998 කි. සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින් ද තවත් පාලම් දෙකක් සහ බෝක්කු අටකින් ද යුතුව සැලසුම් කර ඇති මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුල අවසන් කිරීම අපේක්ෂාවයි. ව්යාපෘතියේ කොන්ත්රාත්කරු වශයෙන් මාගා ඉංජිනියරින් (පුද්.) සමාගම කටයුතු කරයි.
අතුරු මාර්ගයේ ඉදිකිරීම් නිමවීමත් සමග වරකාපොල නගරය ආශ්රිතව පවතින වාහන තදබදයට ස්ථිරසාර විසඳුම් ලැබෙන අතර, මාර්ග ආරක්ෂාව වැඩිදියුණු වීමෙන් වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායී ලෙස මගීන් සහ භාණ්ඩ ප්රවාහනය සිදුකල හැකිවනු ඇත.