Tuesday, August 25, 2026
Follow Us
පාසල් පෝෂණ වැඩසටහන නොමිලේ ආහාර ලබාදීමෙන් ඔබ්බට ගිය සෞඛ්‍ය සම්පන්න වැඩපිළිවෙළක් විය යුතුයි - අගමැතිනිය

රජයේ පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් ඉලක්කගත දරුවන් පිරිසකට නොමිලේ ආහාර වේලක් ලබාදීමකට සීමා නොවී, සමස්ත පාසල් පද්ධතිය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර රටා, යහපත් පෝෂණ දැනුවත්භාවය සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කිරීම අරමුණු කරගත් වැඩසටහනක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සමඟ ඊයේ(24) අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

රට තුළ පෝෂණ ගැටලු තවදුරටත් දැඩි අවධානයට ලක් කළ යුතු කරුණක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සමඟ නිවැරදි ආහාර රටා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද අවධාරණය කළාය.

පාසල්, පූර්ව ළමා විය සහ තෝරාගත් පවුල් මට්ටමින් දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, වර්තමානයේ ශීඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග (NCDs) වළක්වා ගැනීම සඳහා ඒවාට බලපාන මූලික හේතු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එමෙන්ම, පෝෂණය සහ සෞඛ්‍යය සම්බන්ධ ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී හුදු අනුමාන මත නොව, නිවැරදි විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත මත පදනම්ව කටයුතු කළ යුතු බවද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග අගය කළ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින්, ඒ සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බවට සහතික වූහ.

පෝෂණ වැඩසටහන්වල සාර්ථකත්වය සඳහා විශ්වවිද්‍යාල, අධ්‍යාපන අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ පිලිප් වෝඩ්, නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබට් ඔලිවර්, සිඩ්නි නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජය ශ්‍රී අර්කොට් ඇතුළු නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.