නාගරික මහල් නිවාස සංකීර්ණවල ජීවත්වන ජනතාවගේ ජීවනතාවය ගොඩනැංවීම සඳහා ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශයේ මෙහෙයවීමෙන්, නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇති Metro Uplift වැඩසටහනට සමගාමීව සුවතා මධ්යස්ථාන (Wellness Centres) ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත.
මහල් නිවාස ආශ්රිත පළමු සුවතා මධ්යස්ථානය ආරම්භ කිරීම කොළඹ 14, බ්ලූමෙන්ඩල් ‘සිරිමුතු සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්ර කර ගනිමින්, නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ ( 24) නිල වශයෙන් ආරම්භ කෙරිණ.
සෞඛ්ය අමාත්යංශයේ වතු හා නාගරික සෞඛ්ය ඒකකයේ සැලසුම්කරණයෙන් ස්වදේශීය වෛද්ය දෙපාර්තමේන්තුව, , නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ ප්රාදේශීය සෞඛ්ය සේවා කාර්යාල ඒකාබද්ධව මහල් නිවාසවල පදිංචි ජනතාවගේ සෞඛ්ය වර්ධනය වෙනුවෙන් සුවතා මධ්යස්ථාන ස්ථාපනය කර ඇත.
සුවතා මධ්යස්ථාන සේවා මගින් මහල් නිවැසියන්ගේ ශාරීරික, මානසික, සමාජයීය හා ආධ්යාත්මික සෞඛ්ය සංවර්ධනය වෙනුවෙන් ප්රතිකාර, දැනුවත් කිරීම්, පුනරුත්ථාපනය කිරීම් සහ බලගැන්වීම් සිදුකෙරේ. මෙම සෞඛ්ය ප්රවර්ධන වැඩසටහන මගින් බෝ නොවන රෝග හඳුනා ගැනීම, බෝවන රෝග ව්යාප්තිය පාලනය, වැඩිහිටි රැකවරණය, මත්ද්රව්ය නිවාරණය, පෝෂණ, මාතෘ සහ ළමා සෞඛ්ය වැඩසටහන් නව යොවුන්විය සෞඛ්ය වැඩසටහන්, ශාරීරික සහ මානසික යහපැවැත්මට අදාල වැඩසටහන්, අක්ෂි සායන, අනතුරු වැලැක්වීම, යෝග, භාවනා, සංගීත වැඩසටහන්, තෙල් සහ කටු චිකිත්සාව, ආයුර්වේද රූපලාවණ්ය ප්රතිකාර ඇතුළු සෞඛ්ය සේවාවන් රැසක් මෙම මධ්යස්ථානවලින් ලබාගත හැකිය.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ කොළඹ මහල් නිවාස සංකීර්ණ අටක සුවතා මධ්යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇත. ඒ යටතේ ‘සිරිමුතු සෙවණ’, ‘ලක්හිරු සෙවණ”, ‘ලක්සඳ සෙවණ’, ‘සත්හිරු සෙවණ’, ‘රන්දිය උයන’, ‘හෙළමුතු සෙවණ’, ‘මිහිජය සෙවණ’ සහ ‘නෙත්සඳ සෙවණ’ මහල් නිවාසයන්හි සුවතා මධ්යස්ථාන ස්ථාපිත කිරීමට නියමිතය. නාගරික සංවර්ධන අධිකාරියට අයත් මහල් නිවාස සංකීර්ණ 24 කම 2027 වසර තුලදී මෙම සුවතා මධ්යස්ථාන ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
සුවතා මධ්යස්ථාන ආරම්භ කිරීමට සමගාමීව ‘සිරිමුතු උයන’ පදිංචි වැඩිහිටි ප්රජාව වෙනුවෙන් වෛද්ය සායනයක් ද ඊයේ දින පැවැත්විණ.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.