ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්රජා දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් “ප්රජා බලකරණය සඳහා වෙනසක්” යන සන්නිවේදන මූලධර්ම මත පදනම් වූ "ප්රජා මුලික ඩෙංගු මර්දන හා පාලන නියමු වැඩසටහනේ " සමාරම්භය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්ය අසේල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (21) බොරලැස්ගමුව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල පරිශ්රයේදී සිදු කෙරිණි.
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ජනතාවගේ සක්රීය දායකත්වය අත්යවශ්ය වන අතර, එම දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි
ඩෙංගු මර්ධන වැඩසටහන් වඩාත් සාර්ථකව ක්රියාත්මක කිරීම උදෙසා මහජනතාවගේ හැසිරීම් රටාවේ (චර්යාත්මක) වෙනසක් ඇති කිරීමේ නව මංපෙත් සෙවීමේ සමීක්ෂණයක් දියත් කිරීම ඇතුළු නව මුහුණුවරකින් යුතුව කොළඹ දිස්ත්රික්කයේ මොරටුව, නුගේගොඩ සහ බොරලැස්ගමුව යන තෝරාගත් සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාසවල ඩෙංගු අධිඅවදානම් වසම් කිහිපයක් කේන්ද්ර කරගනිමින් මෙම වැඩසටහන නියමු ව්යාපෘතියක් ලෙස ක්රියාවට නැංවේ.
මෙහිදී තොරතුරු රැස්කිරීම හා දැනුවත් කිරීමේ අත් පත්රිකා මගින් ප්රජාව දැනුවත් කිරීම මෙන්ම "ඩෙංගු රහිත නිවසක් - සුරක්ෂිත රටක්" යන තේමාව යටතේ ඩෙංගු අවදානම පිළිබඳ සන්නිවේදනය වන ආකාරයෙන් ජනතාවගෙන් ඉටු විය යුතු යුතුකම් පිළිබඳ බලතරණය කරන ස්ටිකර් ව්යාපෘතියක් ද මෙහිදී හදුන්වා දෙනූ ලැබීය.
ඒ අනුව කොළ, කහ සහ රතු පැහැති ස්ටිකර් මගින් පරිශ්ර ඩෙංගු මදුරුවන් බෝ නොවන, බෝවිය හැකි සහ බෝවන ස්ථාන සහිත බව ජනතාවට දැනුම් දෙනු ලබයි.
මෙම නියමු ව්යාපෘතියේ දත්ත සමාලෝචනය කරමින් ඉදිරියේ දී ලෝක සෞඛ්ය සංවිධානයේ ද ආධාර ඇතිව බස්නාහිර පළාත සහ දීප ව්යාප්තව මෙම ව්යාපෘතිය ක්රියාවට නැංවීමට නියමිතය.
මෙම වැඩසටහන කාලෝචිත වැඩසටහනක් බවත්, ප්රජාව සෘජුව සම්බන්ධ කර ගනිමින් ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ඩෙංගු රෝග ව්යාප්තිය පාලනය කළ හැකි බව මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සඳහා මෙම නව ප්රජා බලකරණ නියමු ව්යාපෘතිය වැදගත් පියවරක් වනු ඇති බවත්, මෙම වැඩපිළිවෙලේ පසුවිපරම් කටයුතු ද ශක්තිමත් විය යුතු බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා කොළඹ දිස්ත්රික් ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂිකා වෛද්ය පූර්ණිමා තිලකරත්න, කැස්බෑව ප්රාදේශීය ලේකම් ඉශංකා ඩී.කේ උඩවත්ත, බොරලැස්ගමුව සෞඛ්ය වෛද්ය නිලධාරී වෛද්ය ඉන්දික එල්ලාවල, කොළඹ දිස්ත්රික් පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක ප්රියන්ත විජේසූරිය යන මහත්ම මහත්මීන් ඩෙංගු මදුරු මර්දන සහායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.