Wednesday, August 12, 2026
Follow Us
ලෝක අලි දින සැමරුම පින්නවල අලි සංරක්ෂණාගාරයේදී
2026 ලෝක අලි දින සැමරුම අද දිනට යෙදී තිබුණා. ඊට සමගාමීව කෑගල්ල, රඹුක්කන, පින්නවල අලි සංරක්ෂණාගාරයේදී “නිදහස් අලි අරණේ” දෙවැනි අදියර අලි ඇතුන්ගේ ප්රයෝජනය සඳහා විවෘත කිරීමයි අද දින සිදු වුණේ.
1975 වර්ෂයේදී අලි ඇතුන් 5 දෙනකුගේ අනාථාගාරයක් හෙවත් විවිධ හේතු නිසා අනතුරට පත්වන අලි ඇතුන් රැකබලා ගැනීමේ මධ්යස්ථානයක් ලෙස ඇරඹි මෙම ස්ථානයෙන් සිදු වුණේ අලි ඇතුන් සංරක්ෂණය, රැකබලා ගැනීම හා ඔවුන්ගේ සුබ සාධන කාර්යයයි. එහෙත් පැවති “අලි අනාථාගාරය” යන විරුදාවලියෙන් ක්රමයෙන් මිදී අලි සංරක්ෂණාගාරයක් බවටයි මේ වන විට මේ ස්ථානය පත්ව ඇත්තේ.
 
මදමත් අලි ඇතුනට නිදහස් සුවෙන් සිටීමට නිදහස් අලි අරණක් විවෘත වූයේ පසුගිය වසරේදීයි. එහි දෙවැනි අදියර විවෘත කිරීමයි රඹුක්කන ආසන සංවිධායක, කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සමන්ත රණසිංහ මහත්මා අතින් පින්නවල අලි සංරක්ෂණාගාර පරිශ්රයේදී සිදු වුණේ. මෙම නිදහස් අලි අරණ විවෘත වීමත් එහි දෙවැනි කුටිය අද දින විවෘත වීමත් සමඟ මෙතෙක් පින්නවල අලි සංරක්ෂණ මධ්යස්ථානයේ සිටි මද කිපුණු අලි ඇතුන්ට යදමින් මිදී නිදහස් සුව විඳීමට අවකාශ සැලසෙනු ඇති.
 
අද දින පැවති අලි දින සැමරුමට සමගාමීව අලි ඇතුනට පළතුරු කවන ස්ථානයේදී පෝෂණීය කිරිබත් හා පලතුරු ලබාදීම, කෑගල්ල - “සණස” විශ්වවිද්යාලයීය ශිෂ්ය ශිෂ්යාවන් විසින් “අලිමත පදනම් වූ සංචාරක ව්යාපාරය ශ්රී ලංකාවේ ග්රාමීය ආර්ථික සංවර්ධනය සඳහා සැබෑ හා තිරසර ප්රතිලාභයක් ලබා දෙන්නේද? එය අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඵලදායී විසඳුමක් වේද?” විවාද වැඩසටහනක් පැවැත්වීම, විශ්වවිද්යාල සිසුන් සඳහා අධ්යාපන ක්ෂේත්ර චාරිකාව මගින් පින්නවල අලි අනාථාගාර පරිශ්රය හා ප්රධාන රංචුවේ අලි වෙනුවෙන් පළතුරු දානය ලබාදීම සහ “පින්නවල අලි අනාථාගාරය හා එහි සංරක්ෂණ කාර්යභාරය” පිළිබඳ දේශනයක් ද මෙහිදී සිදුවිය. සංචාරක කර්මාන්තයට තෝතැන්නක් වූ එමගින් රටට සුවිශාල ඩොලර් ප්රමාණයක් උපයා දෙන සංස්කෘතිකමය වශයෙන් ජාතික වස්තුවක් වූ මෙම සද්ධන්ත සුරතල් සත්වයා රැක ගැනීම අප කාගේත් වගකීම විය යුතුය.
 
මෙම අවස්ථාවට පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්ය අධ්යක්ෂ යූ.ජී. එම්. එස්. මැදවල, එහි පරිපාලන නිලධාරිනී මල්කාන්ති වක්කුඹුර, කෑගල්ල “සණස” විශ්වවිද්යාලයීය ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්ය ශිෂ්යාවන් සහභාගි විය.