අදට යෙදී ඇති ලෝක ආදිවාසී දිනය ශ්රී ලංකාවේ ආදිවාසී ප්රජාවගේ පාරම්පරික අයිතිවාසිකම් සහ සංස්කෘතික උරුමයන් නීතිමය වශයෙන් තහවුරු වූ විශේෂ දිනයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
ආදිවාසී ප්රජාවගේ පාරම්පරික අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ රෙගුලාසි ගැසට් පත්රයට පසුගිය දිනක අත්සන් තබමින් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම දීර්ඝ කලක සිට රජයකින් බලපොරොත්තු වූවක් ලෙස හැඳින්විය හැක. වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ප්රතිපාදනවලට යටත්ව සිදුකළ මෙම පියවර, ආදිවාසී ප්රජාව වසර ගණනාවක් පුරා කළ දීර්ඝකාලීන ඉල්ලීම්වලට ලැබුණු සාධනීය මෙන්ම ප්රගතිශීලී විසඳුමක්.
මෙම නව රෙගුලාසි මඟින් වනජීවී සංරක්ෂණ කලාප තුළ ආදිවාසී ජනතාවගේ පාරම්පරික ජීවන රටාවන් සහ පරිභෝජන අවශ්යතා නිසි නීතිමය රාමුවක් ඇතුළත ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇත. පරිසරවේදීන්, විද්වතුන් සහ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අධ්යයනයන් හා උපදෙස් පදනම් කරගනිමින් මෙම රෙගුලාසි විද්යාත්මක පදනමකින් සම්පාදනය කර තිබීම විශේෂත්වයකි. වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 71 වන වගන්තියට අනුව සකස් කළ මෙම මඟපෙන්වීම් හරහා ආදිවාසීන් සඳහා නම් කරන ලද කලාප, කිරීමට අවසර ඇති ක්රියාකාරකම්, ප්රජා සාමාජිකයන් ලියාපදිංචි කිරීම මෙන්ම අදාළ ප්රදේශවලට ඇතුළුවීම සහ පිටවීම විධිමත් පාලනයකට යටත් කෙරේ.
මෙම ඓතිහාසික තීරණය මඟින් ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා වන අතරම, ආදිවාසී ජනතාවගේ සංස්කෘතික හා ජීවන අයිතීන් බිම් මට්ටමින් පවත්වාගෙන යාමට අවශ්ය වටපිටාව නිර්මාණය වේ. දේශීය සංස්කෘතික උරුමයන් සහ පරිසර පද්ධතිය අතර පවතින සහජීවනය තවදුරටත් ශක්තිමත් කරමින්, තිරසාර පාරිසරික කළමනාකරණය උදෙසා ආදිවාසී ප්රජාව සක්රීයව දායක කරගැනීමට මෙමඟින් මඟපෑදෙනු ඇත. තවද, ආදිවාසී ප්රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ ඉදිරි පනත් කෙටුම්පත් කටයුතු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය හරහා ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
-පරිසර අමාත්‍යාංශය