හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් ඉක්මනින් ළඟාවීමේ අරමුණින්, යතුරුපැදි පාදක කරගත් නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් (Motorcycle-based emergency medical response service) හඳුන්වා දීමට 1990 සුව සැරිය පදනම තීරණය කර තිබේ.
වාර්තාවන්ට අනුව, දැඩි වාහන තදබදය හෝ මාර්ග අවහිරතා හේතුවෙන් ගිලන්රථ ගමන් කිරීමට ප්‍රමාද වන ප්‍රදේශවල, හදිසි ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම නව සේවය සැලසුම් කර ඇත. විශේෂයෙන්ම කොළඹ ඇතුළු අධික වාහන තදබදයක් පවතින නගරබද ප්‍රදේශවල මෙම යතුරුපැදි හදිසි ප්‍රතිචාර ඒකක ක්‍රියාත්මක කිරීමට නියමිතය. ගිලන්රථයක් පැමිණෙන තෙක් අවශ්‍ය මූලික ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් සැපයීම මෙහි මූලික අරමුණ වේ.
රෝගීන් ගිලන්රථයකින් ප්‍රවාහන කළ හැකි වන තෙක් පවතින තීරණාත්මක කාල සීමාව තුළ රෝගීන්ට ක්ෂණික හදිසි ආධාර ලැබීම තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව සුව සැරිය පදනම පවසයි. මෙම සේවය සඳහා විශේෂ පුහුණුව ලැබූ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොදවන අතර, අත්‍යවශ්‍ය ඖෂධ සහ මූලික හදිසි වෛද්‍ය උපකරණවලින් සමන්විත යතුරුපැදි ඔවුන් වෙත ලබා දීමට නියමිතය.
මෙම වැඩසටහන මේ වසර අවසන් වීමට පෙර කොළඹ සහ අනෙකුත් නගරබද ප්‍රදේශ ඉලක්ක කරගත් නියමු ව්‍යාපෘතියක් (Pilot project) ලෙස ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.