පසුගිය කාලසීමාවන්හිදී සහ පසුගිය රජයන් යටතේ ආරම්භ කර, විවිධ හේතූන් මත අතරමග නවතා දමා ඇති නිවාස ව්යාපෘති සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා විය.
මෙම නිවාස ව්යාපෘති සම්පූර්ණ කිරීම සඳහා නව වැඩසටහනක් ක්රියාත්මක කිරීමට 2027 වසරේ අයවැය මඟින් අවශ්ය ප්රතිපාදන වෙන් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද අමාත්යවරයා සඳහන් කළේය.
සම්පූර්ණයෙන් ලබා නොදීම හේතුවෙන් එම ව්යාපෘති අතරමග නවතා දමා ඇති බවත්, එවැනි නිවාස ව්යාපෘති 5,000කට ආසන්න සංඛ්යාවක් පවතින බවත් අමාත්යවරයා පැවසීය.
ඒ අනුව, එම නිවාස ව්යාපෘති අතරින් භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින නිවාස හඳුනාගෙන, ඒවා සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු අමාත්යාංශ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ද අමාත්යවරයා සඳහන් කළේය.
එම කමිටුව මේ වන විට සිය කටයුතු ආරම්භ කර ඇති අතර, අදාළ නිවාස ව්යාපෘති සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින්, භාවිතයට ගත හැකි නිවාස හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්යවරයා පැවසීය.
මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ අනුව අතරමග නවතා ඇති නිවාස ව්යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, අඩක් ඉදිකර ඇති නිවාස සම්පූර්ණ කර ගැනීමට අවශ්ය පවුල් සඳහා ලබන වසරේදී ආධාර ලබා දීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව පවුල් 2,000කට ආසන්න සංඛ්යාවකට ප්රතිලාභ ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්යවරයා පැවසීය.
මේ අතර, කාරක සභා රැස්වීමට සහභාගී වූ ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සිය ප්රදේශවල පවතින නිවාස හා ජල සම්පාදන ක්ෂේත්රවල ගැටලු කාරක සභාවේ අවධානයට යොමු කළහ.
කොළඹ දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්රියාත්මක නිවාස ව්යාපෘති ඇතුළු නිවාස ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද අමාත්යාංශය එකඟ විය.