Wednesday, July 29, 2026
Follow Us
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකිරීමක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම මෙන්ම නාවල – නාරාහේන්පිට දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල – නාරාහේන්පිට පාර දුම්රිය හරස් මාර්ගයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එළැඹෙන 01 වනදා උදෑසන 07.00 සිට ඉරිදා පස්වරු 08.00 දක්වා කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට කටයුතු කෙරේ.

තවද අදාළ සෙනසුරාදා පස්වරුවේ සහ ඉරිදා දිනයේ උදෑසන කාලයේ කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය වේලාවන්හි සිදුවන සංශෝධන පිළිබඳව ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.