Tuesday, July 28, 2026
Follow Us
පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් වී - ප්‍රමිති (V-Pramithi) ජාතික  වැඩසටහන ආරම්භ කෙරේ

"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික සුපිලිපන් සතිය වෙනුවෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ "වී-ප්‍රමිති" (V-Pramithi) ජාතික වැඩසටහන දියත් කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (28) පිටකොටුව පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි. 

පිටකොටුව පොදු වෙළඳපොළේ වෙළඳසැල් වෙත ගොස් වීදි ආහාර, පොල්තෙල්, සෙල්ලම් බඩු, හකුරු පැණි වැනි ආහාර, රූපලාවන්‍ය ද්‍රව්‍ය, කුළු බඩු දුව්‍ය සහ විදුලි උපකරණ ආදී  පාරිභෝගික භණ්ඩවල  අහඹු ලෙස සාම්පල ලබා ගැනීමේ විශේෂ වැඩසටහනක් මෙහි දී ක්‍රියාත්මක කෙරිණි. ඉන් අනතුරුව මෙම පාරිභෝගික භණ්ඩවල  ප්‍රමිතිය හා අන්තර්තය පිළිබඳ තත්ත්ව වාර්තා පරීක්ෂා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම, උසස් ප්‍රමිතියෙන්  යුතු භණ්ඩ වෙළඳපොළ තුළ සංසරණය වීමට ඉඩ සැලැස්වීම සහ ඒවා සුරක්ෂිතව පාරිභෝගිකයා අතට පත්කිරීම උදෙසා  මෙම වැදගත් වැඩසටහන ඉදිරියේදී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සඳහා විශ්වසනීයව හා සෞඛාරක්ෂිතව පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා දැනුවත් කිරීම සහ ඒ සඳහා ක්‍රියාත්මක වීමට පෙළඹවීම ඇති කිරීමත් නිසි ප්‍රමිතියෙන් යුතු තුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට සහ අලෙවියට ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා පෙළඹවීමත් යන  අංශ දෙකම වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය, මේ සඳහා තාක්ෂණික දායකත්වය ලබා දෙන අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික කටයුතු පිළබඳ අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු පාර්ශ්ව ගණනාවක සහයෝගීතාවෙන් වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ තාක්ෂණික දායකත්වය ලබා දෙන ආයතනයන්හි නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.