ශ්රී ලංකාවේ ගෘහ භාණ්ඩ නිර්මාණ ක්ෂේත්රයේ විධිමත් පූර්ණකාලීන පාඨමාලාවක් යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) Level 4 සහතික පිරිනමන ප්රථම අවස්ථාව සනිටුහන් කරමින්, සාර්ථකව පුහුණුව නිමකළ සිසුන් වෙනුවෙන් NVQ Level 3 සහ Level 4 සහතික ප්රදානෝත්සවය පසුගියදා (ජූලි 16) තලවතුගොඩ ජැට් හෝල්ඩින් සමාගම් ශ්රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
දශකයකට අධික කාලයක් වසා දමා තිබූ කටුබැද්ද යාන්ත්රික දැව තාක්ෂණ පුහුණු ආයතනය, ජාතික ශිල්ප සභාව (National Crafts Council) වෙත පවරාගෙන නැවත ක්රියාකාරී තත්ත්වයට පත් කිරීමෙන් පසු එහි පුහුණුව ලැබූ ප්රථම සිසු කණ්ඩායම ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ සහතිකලාභී සියලුම සිසුන් සඳහා පාඨමාලාව අවසානයේදීම පෞද්ගලික අංශයේ ස්ථිර රැකියා සඳහා වන පත්වීම් ලිපි ද පිරිනැමීමයි.
මෙම සුවිශේෂී අවස්ථාව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතාගේ සහ ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේෂා වික්රමසිංහ මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු අතර JAT Holdings PLC ආයතනයේ ප්රධාන විධායක නිලධාරී (CEO) නිශාල් ප්රනාන්දු මහතා සහ රාජ්ය නිලධාරීන් සහ ක්ෂේත්රයේ ප්රමුඛයින් රැසක් ද මේ සඳහා එක්විය.