ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල පැවැත්වීම සම්බන්ධ සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණ.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම නොවැම්බර් 28 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර, එය දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ.
මෙම සම්මේලනයට ථේරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂු-භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි නියෝජිතයෝ 600කට ආසන්න පිරිසක් ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය 5000කට ආසන්න පිරිසක් ද සහභාගී වීමට නියමිතය.
ලෝක බෞද්ධ සංඝ සම්මේලන සංවත්සර සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය සාහිත්‍යසූරී අතිපූජ්‍ය බෝදාගම චන්දිම හිමි, එහි ප්‍රධාන ලේකම් අතිපූජ්‍ය මාඉටිපේ විමලසාර හිමි ප්‍රධාන, කමිටුවේ සාමාජිකයන් වන අතිපූජ්‍ය තලගල සුමනරතන හිමි, අතිපූජ්‍ය ඉත්තෑදෙමළියේ ඉන්දසාර හිමි, අතිපූජ්‍ය වැලමිටියාවේ ගුණරතන නායක හිමි, ආචාර්ය පූජ්‍ය වල්මෝරුවේ පියරතන හිමි, පූජ්‍ය Malai Phradhamma Vajirapanyacarya හිමි, පූජ්‍ය සූරියවැව සුමේධ හිමි, පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමි ඇතුළු මහා සංඝරත්නයද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් පී. ඒ. ඒ. එස්. වීරසේකර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. එන්. කුමාරි යන මහත්ම මහත්මීහු, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීහු, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.