Tuesday, July 14, 2026
Follow Us
 පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

රජයේ නිල 'GovPay' වෙබ් අඩවියට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර, රථවාහන දඩ මුදල් අයකර ගැනීමේ මුවාවෙන් මහජනතාව මුලා කර මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ රජයේ සේවාවන් සඳහා ආරක්ෂිතව සහ පහසුවෙන් මාර්ගගත (Online) ක්‍රමයට ගෙවීම් පහසුකම් සැලසීමට 'GovPay' යෙදවුම (App) භාවිතා කරනු ලබයි. රියදුරන් සිදුකරන රථවාහන වැරදි වෙනුවෙන් පොලිසිය නිකුත් කරන ස්ථානීය දඩ පත්‍රිකා සඳහා ද මෙම ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.

කෙසේ වෙතත්, මෙම පද්ධතියට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි සකස් කර මහජනතාව මුදල් වංචාවන්ට හසු කරගත් අවස්ථා ගණනාවක් මේ වන විට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) පිළිබඳ අවධානම

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසියේ නම භාවිතා කරමින්, වේග සීමා උල්ලංඝනය කිරීම් හෝ වෙනත් රථවාහන වැරදි සිදුකර ඇති බව පවසමින් මහජනතාව වෙත ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) ලැබෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත. එම පණිවිඩ මඟින් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් මහජනතාව මුලාවට පත් කිරීමට ජාවාරම්කරුවන් උත්සාහ දරයි.

මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධිර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ.

පොලිසිය ක්‍රියා කරන නිවැරදි ක්‍රමවේදය

ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරන්නේ රථවාහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැනට ක්‍රියාත්මක වන්නේ පහත සඳහන් නිල ක්‍රමවේදයන් පමණක් බවයි:

  • ස්ථානීය දඩ පත්‍රිකා: රථවාහන වැරැද්දක් සිදුකළ අවස්ථාවේදීම අදාළ පුද්ගලයාට ඒ පිළිබඳ දැනුම් දී ස්ථානීය දඩ පත්‍රිකාවක් නිකුත් කිරීම.

  • අධිකරණ ක්‍රියාමාර්ග: සිදුකරන ලද වරදට අදාළව නීතිමය වශයෙන් නඩු පැවරීම.

පොලිසිය විසින් ආවේක්ෂණ කැමරා (CCTV) උපයෝගී කරගෙන රථවාහන වැරදි හඳුනා ගන්නා අවස්ථාවලදී වුවද, කිසිදු විටක කෙටි පණිවිඩ (SMS) යොමු කර පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ලබා ගැනීමක් සිදු නොකරන බව පොලිසිය තරයේ කියා සිටියි.