2025 වසර දක්වා වූ පසුගිය දශකය තුළ මෙරට නව දරු උපත් ප්‍රමාණය එක්ලක්ෂ විසිදහසකින් පමණ පහළ ගොස් තිබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
මෙවැනි තත්ත්තයක් තුළ නව දරු උපත් දිරිගැන්වීම සඳහා රජය සියලු සහන ලබාදෙන බවත් 2015 වසරේ සිට 2025 දක්වා පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩ ලෙස පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.
මේ අතර, 2019 වසරේ මෙරටින් වාර්තා වී ඇති මුළු සජීවී දරු උපත් සංඛ්‍යාව 319,010ක් වුවත් 2025 වන විට 214,570ක් දක්වා ක්‍රමිකව පහත වැටී තිබේ.
මෙයට හේතු වූ කරුණු කිහිපයක්ම අනාවරණය වී තිබෙන බවද අමාත්‍යවරිය පෙන්වා දුන් අතර විවාහවන වයස ඉහළයාම, විවාහ අනුපාතය පහළ යාම, ජීවන වියදම වැඩිවීම,ප්‍රජනන වයසේ සිටින තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රටින් පිටතට සංක්‍රමණය වීම, විදේශ රැකියාවල නියුක්ත වීමෙන් කලත්‍රයන් තාවකාලිකව හෝ දිගුකාලීනව ඈත්වී සිටීම, කුඩා පවුල් සඳහා ඇති කැමැත්ත, උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා කාන්තා සහභාගීත්වය වැඩිවීම වැනි කරුණු ඊට අයත් වෙයි.
ඊට අමතරව පවුලේ ප්‍රමාණය සහ දරුවන් බිහිකිරීමේ නිසි කාලය පිළිබඳ ආකල්ප වෙනස්වීම, පවුල් සැලසුම් ක්‍රම භාවිතය වැඩිවීම, මඳ සරුභාවය සහ වඳභාවය වැනි කරුණු ද ඊට බලපා තිබේ.