Thursday, January 22, 2026
Follow Us
ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසරයි

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ රටම එකට ජාතික මෙහෙයුමට අදාළ ප්‍රගතිය පැහැදිලි කිරීම සඳහා අද (22)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහත මේ බව සඳහන් කළේය.

වර්තමානයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ තුළ මේ වන විට ඉතාමත් සාධනීය ප්‍රතිඵල රැගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට එමගින් හැකියාව ලැබී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

2024 වසරේ හෙරොයින්, ගංජා, කොකේන් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10,871ක් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවද 2025 වසරේ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය සහ මැදිහත්වීම මත තීව්‍ර කරන ලද සියලුම මෙහෙයුම් හරහා 2025 වසරේ අති සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වූ බවද අවධාරණය කර තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2025 වසරේ හෙරොයින්, ගංජා, කොකේන් සහ හෂීස් සහ අයිස් යන සියලුම මත්ද්‍රව්‍ය  කිලෝග්‍රෑම් 23692ක් සහ ග්‍රෑම් 307ක් සදහා මෙම මෙහෙයුම් තීව්‍ර කිරීමට හැකි වී තිබේ.

2024 වසරේ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 832 ක් වුවද 2025 වසරේ එම ප්‍රමාණය මෙන් තුන් ගැණයක් පමණ එනම් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1821ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් ශ්‍රී ලංකා පොලීසියේ දැඩි සෝදිසි කිරීම්, පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් මෙහෙයවීම මත මෙම හැකියාව ලැබුණු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

.මෙම මත්ද්‍රව්‍ය ජාවාරන්කරුවන් පිළිබඳ 1818ට අංකය කිසිදු බයක් නැතිව තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මෙහෙයුම් වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ජනතා සහයෝගය ඉතා වැදගත් වන බව ද පැවසීය.