දිවයින පුරා ආරෝග්යා සුවතා මධ්යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම ලබන 24 වනදා දිවයින පුරා දිස්ත්රික්ක 21 දී සිදු කිරීමට නියමිතය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්ය වැඩසටහන යටතේ මෙම මධ්යස්ථාන පිහිටුවීම සිදු කෙරේ.
මෙම වැඩසටහනේ නියමු ව්යාපෘතියේ පළමු අදියර යටතේ ආරෝග්යා සුවතා මධ්යස්ථාන 05 ක් 2025 වසරේදී ස්ථාපිත කෙරිණි. ගාල්ල දිස්ත්රික්කයේ මාපලගම, රත්නපුර දිස්ත්රික්කයේ ඇත්ඔය, කළුතර දිස්ත්රික්කයේ තල්පිටිය, මහනුවර දිස්ත්රික්කයේ පොළගොල්ලවත්ත, මාතලේ දිස්ත්රික්කයේ ගන්කන්ද යන ප්රදේශවල එම ආරෝග්යා සුවතා මධ්යස්ථාන පිහිටුවනු ලැබීය.
එම නියමු ව්යාපෘතියේ අත්දැකීම් පාදක කර ගනිමින් මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි නව ආරෝග්යා සුවතා මධ්යස්ථාන 250 ක් ස්ථාපිත කිරිමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය සැලසුම් කර ඇති අතර, මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත. නියමු ව්යාපෘතියේ දෙවන අදියර යටතේ ලබන 24 ද ආරෝග්යා සුවතා මධ්යස්ථාන 42 ක් ජනතා සේවයට එක් කිරිමට නියමිතව ඇත.
ඒ් අනුව , කොළඹ දිස්ත්රික්කයේ ආරෝග්යා සුවතා මධ්යස්ථාන 03 ක්, ගම්පහ දිස්ත්රික්කයේ 02 ක්, කළුතර දිස්ත්රික්කයේ 03 ක්, නුවර දිස්ත්රික්කයේ 02 ක්, රත්නපුර 01 ක්, ගාල්ල දිස්ත්රික්කයේ 02 ක්, මාතර දිස්ත්රික්කයේ 02 ක්, හම්බන්තොට දිස්ත්රික්කයේ 02 ක්, මඩකළපුව දිස්ත්රික්කයේ 02 ක්, කල්මුණේ දිස්ත්රික්කයේ 01 ක්, කුරුණෑගල දිස්ත්රික්කයේ 03 ක්, පුත්තලම දිස්ත්රික්කයේ 02 ක්, බදුල්ල දිස්ත්රික්කයේ 02 ක්, මොණරාගල දිස්ත්රික්කයේ 02 ක්, අනුරාධපුර දිස්ත්රික්කයේ 02 ක්, පොලොන්නරුව දිස්ත්රික්කයේ 02 ක්, මාතලේ දිස්ත්රික්කයේ 01 ක්, අම්පාර දිස්ත්රික්කයේ 02 ක්, කෑගල්ල දිස්ත්රික්කයේ 02 ක්, නුවරඑළිය දිස්ත්රික්කයේ 02 ක්, ත්රීකුණාමලය දිස්ත්රික්කයේ 02 ක් වශයෙන් ආරෝග්යා සුවතා මධ්යස්ථාන 42 ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ සමාරම්භය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් කළුතර දිස්ත්රික්කයේ කණන්විල සහ හීනටියන්ගල ආරෝග්යා සුවතා මධ්යස්ථාන ජනතා අයිතියට පත් කිරීම සමගින් සිදු කිරිමට නියමිතය.
මෙම ආරෝග්යා සෞඛ්ය සුවතා මධ්යස්ථානය තුළින් ජනතාවගේ සෞඛ්යයට වගවන, වගකියන ප්රාථමික සෞඛ්ය සේවාවන් රාශියක් ලබාදෙනු ලබන අතර, ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්රවේශවිය හැකි ස්ථානයක ස්ථානගත කිරිම විශේෂත්වයකි. එමෙන්ම මෙම සෑම මධ්යස්ථානයකට ම පවුලේ වෛද්යවරයෙක්, ප්රජා සෞඛ්ය හෙද නිලධාරිනියක් ඇතුළු අට දෙනෙකුගෙන් යුත් සෞඛ්ය කාර්යමණ්ඩලයක් ද අනුයුක්ත කිරීමට ද නියමිතය.
එමෙන්ම ප්රජා සහභාගීත්වය සහ ප්රජා සංවිධාන මුලික කර ගනිමින් පවත්වාගෙනයාමට අපේක්ෂිත මෙම මධ්යස්ථාන තුළින් එම ප්රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්රිතව මතුවන සියලු සෞඛ්ය ගැටලු නිරාකරණය කිරීමේ ක්රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණක් වේ.
බෝ නොවන රෝග හදුනා ගැනිම, ප්රතිකාර සහ පාලනය, පිළිකා කළින් හදුනාගැනිම, සුළු ශල්ය වෛද්ය ප්රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්ය සත්කාර, මානසික සෞඛ්ය සත්කාර සහ උපදේශන සේවා , පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්යසාර පුනරුත්ථාපන සේවා මෙන් ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්රජා බල ගැන්වීම ඇතුළුව ප්රාථමික සෞඛ්ය සත්කාර සේවා රාශියක් මෙම මධ්යස්ථානය තුළින් ජනතාවට ලබා දීමට නියමිතය.