Thursday, March 05, 2026
Follow Us
වැසුණු තෙල් පිරිපහදුවේ උපාංගත් අනතුරේ

විටින් විට වසා දැමීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ උපකරණවලට හානි සිදුවිය හැකි බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු ප්‍රධානී සහ කාර්මික සේවා කළමනාකරු සිරිල් සුදුවැල්ල පවසනවා. ඔහු කියා සිටියේ මේ වන විට සිදුවන ක්‍රියාදාමය හේතුවෙන් තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේදී පවා ගැටලු මතුවිය හැකි බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය ඉකුත් 03 වනදා සිට යළි වසා දැමුණා. ඒ, බොරතෙල් මිලදී ගැනීමේදී මතුව ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන්. මීට පෙර නොවැම්බර් 15 වනදා එම තෙල් පිරිපහදුව වසා දැමුණු අතර එය යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 07 වනදායි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු ප්‍රධානී සහ කාර්මික සේවා කළමනාකරු සිරිල් සුදුවැල්ල පැවසුවේ තෙල් පිරිපහදුවක් විටින් විට වැසීම ඥානාන්විත ක්‍රියාවක් නොවන බවයි.

මේ වන විට වසාදමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය ලබන 26 වනදා යළි විවෘත කිරීමට නියමිතයි.

(Neth)