Wednesday, March 04, 2026
Follow Us
බේකරිවලට තිරිඟු පිටි සැපයුම 50%කින් අඩුවෙයි

බේකරි රැසක් වසා දැමේ


තිරිඟු පිටි සමාගම් මගින් බේකරිවලට සපයන තිරිඟු පිටි ප්‍රමාණය සියයට 50 කින් අඩුකර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සමාගම් මගින් මහා පරිමාණ බේකරි නිෂ්පාදන ආයතනවලට තිරිඟු පිටි සැපයූවද,කුඩා හා මධ්‍ය පරිමාණ බේකරිවලට තිරිඟු පිටි නොලැබීම නිසා බේකරි රැසක් මේවන විට වසා දමා ඇත.

තිරිඟු පිටිවල ප්‍රමිතියේ ගැටලු තත්ත්වයන් පවතින බවත් මේ නිසා පාන් අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති බවත් බේකරි හිමියෝ පවසති. ප්‍රමිතියෙන් තොර තිරිඟු පිටි භාවිතයෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සැකසීමට නොහැකිවී ඇති අතර කල් තබා ගැනීම සම්බන්ධ ගැටලු පවා උද්ගත වන බව බේකරි හිමියන් කියයි.
සමාගම් විසින් තිරිඟු පිටි මිල ඉහළ දැමීම නිසා පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් වැඩිකරන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටිය ද,මේ වන විට එම නිෂ්පාදන වල මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද එම සංගමය කියයි.

බිත්තරයක මිල රුපියල් 25 ත් 30 ත් අතර මිලක් දක්වා ඉහළ යෑම,එළවළු,මාළු,මස් සහ බේකරි අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා බේකරි කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි හිඟය නිසා බිස්කට් කුඩු නිෂ්පාදනය කිරීමද බේකරි හිමියන් අත්හැර දැමා තිබේ.

(Aruna)