Tuesday, March 03, 2026
Follow Us
අන්තර් පළාත් බස් ධාවනය හෙට සිට - බස් ගාස්තු වැඩි වීමක් නැතත් ලීසිං සහනය වසරකින් දීර්ඝ කරන ලෙස බස් සංගම් වෙතින් ඉල්ලීමක්

හෙට (01) දිනයේ සිට අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීමට නියමිත අතර ඉන්ධන මිල ඉහළ යාමක් සිදු නොවුණු හෙයින් බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවත් සෞඛ්‍ය උපදෙස් අනුව ආසන ගණනට මගීන් ප්‍රවාහනය කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

ඒ, අද (31) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව හෙට දිනයේ සිට මගී ජනතාවට අපහසුවකින් තොරව ගමන් කිරීමේ හැකියාව තිබෙන බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් ඉදිරියේදී ආණ්ඩුව විසින් පෞද්ගලික බස් රථ කර්මාන්තයට සහනයක් ලබාදීමට කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව ඔහු කියාසිටියේය.

බස් කර්මාන්තයේ නියුතු සේවකයින්ගේ ගැටළුව නිසා කොන්දොස්තර මහතුන් නොමැතිව බස් ධාවනය කිරීමේ තීරණයකට එළඹ තිබෙන බවත් මේ වන විටත් පෞද්ගලික බස් කර්මාන්තය මිය ගොස් ඇති තැනට පත්ව ඇති හෙයින් යළි ගොඩ ගැනීමට තව වසරකට ආසන්න කාලයක් ගතවෙනු ඇති බවත් විජේරත්න මහතා සඳහන් කළේය.

එම නිසා ඉදිරි වසර සඳහාත් ලීසිං පහසුකම රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා සංකල්පය ඉවත් කරන අතර සාමාන්‍ය පරිදි මහජනතාවට බස් රථ වල ගමනාගමනයේ යෙදිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(LNW)