රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට තමන් ජනපති වී මාස දෙකක් තුළ රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අභ්‍යන්තර බාහිර බේදයකින් තොරව සියලු උපාධිධාරීන්ට රැකියා පත්වීම් ලබාදෙන බවත් මේවා පොරොන්දු වලට සීමා වන ප්‍රකාශ නොවන බවත් ඒ මහතා කීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ගම්පොළ නගරයේ පැවැති ජන රැළියකදී ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.
ගම්පොළ ආසන සංවිධායක සමන්ත අරුණකුමාර මහතා විසින් සංවිධාන කරන ලද මෙම රැළිය ගම්පොළ පෞද්ගලික බස් නැවතුම් පොළේදී පෙරේදා (02) පැවැත් විණි.
මෙම රැළියට ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, නාවලපිටිය නගරාධිපති සසංක සම්පත් මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ත්‍රිරෝද රථ රියදුරන් අති විශාල පිරිසක් රටේ සිටින බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් කී ඒ මහතා සෑම ත්‍රිරෝද රථ රියදුරෙකුටම පොලී පමණක් නොව ඇප කරුවන්ද නොමැතිව රුපියල් ලක්ෂ තුනක ණයක් ලබා දෙන බවද අවධාරණය කළේය.
දේශීය දියර කිරි නිෂ්පාදනය ඉල්ලුමට සරිලන ලෙස සැපයුමක් ලබා දෙමින් ඉහළ නංවා රට කිරෙන් ස්වයංපෝෂිත කරන බව ද හෙතෙම පැවසුවේය.
බලයට පැමිණෙන විට රට කිරෙන් ස්වයංපෝෂිත කරන බව කියා පැමිණෙන බොහෝ දේශපාලන නායකයින් බහු ජාතික සමාගම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව කිරි ගොවීන්ව අමතක කරන බවත් තමන් කිසිදු අයුරකින් කොන්දේසි වලට යටවී කාගේ හෝ අතකොළුවක් බවට පත් නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
(Dinamina)