මේ රටේ ජනතාවට අයිති ඉඩම් විදේශයන්ට විකිණීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"මේ රටේ ඉඩම් මංකොල්ල කන්න දෙන්න බෑ, විකුණන්න දෙන්න බෑ. ඒවා අයිති ජනතාවට. අද අත්සන් කරන්න සූදානම් වෙන සමහර ගිවිසුම්වලට අපි විරෝධය පළ කරලා තියෙනවා, ජනතාවට දැනුවත් වෙලා.
ජනාධිපති මැතිවරණ කාලයක් තුළ, දඩිබිඩි ගාලා නොයෙක් ගිවිසුම් අත්සන් කරන්න පටන් අරන් තියෙනවා. නොයෙක් පනත් ගේන්න පටන් අරන් තියෙනවා. නොයෙක් දේවල් කරන්න පටන් අරන් තියෙනවා. මේවා වලංගු නෑ. මැතිවරණයක් තියෙනකොට කරුණාකරලා ආණ්ඩුව දැනගන්න ඕනෙ යම් යම් දේවල් නොකර ඉන්න. රටට බලපාන දේවල්. ඉඩම් ටික විකුණාගෙන යනවා. මේවාට ඉඩ තියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මාවතගම ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමිනි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඉහළම වාණිජ වටිනාකමින් යුත් ඉඩමක් වූ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට, ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවති ඉඩම චීන ශැංග්‍රිලා සමාගමට සින්නක්කරවම විකුණා දැමුවේ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. එසේම අලුතින් ගොඩනැගෙන කොළඹ වරාය නගරයේ සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් ද චීනයට සින්නක්කරව පැවරීමට රාජපක්ෂ රජය ගිවිසුම් අත්සන් කර තිබිණි. මේ අද කතා කරන්නේ ඒ මහින්ද රාජපක්ෂමය.
(LNW)