සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීමට නියමිතව තිබූ කුරුණෑගල රැළියට සහභාගී වීම වළක්වමින් සිදු වූ සිදුවීම කුමන්ත්‍රණයක් බව පෙනෙන්නට ඇති හෙයින් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී තිස්ස අත්තනායක මහතා අවධාරණය කළේය.
(31) මාධ්‍ය හමුවක් කැඳවමින් තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.
දඹුල්ලේ රැළිය අවසන් කර කුරුණෑගල රැළියට සහභාගී වීම සඳහා රජයේ හෙලිකොප්ටර් යානයකින් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයට පැමිණ ඊට සහභාගී වීමට නියමිතව තිබුණද හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවීමට නියමිතව තිබියදී හදිසියේ විදුලිය විසන්ධි වීම නිසා හෙලිකොප්ටර් යානය කටුනායක බලා යාමට සිදු විය.
පෙර දැනුම් දීමක් සහිතව මෙම ජන රැළි පවත්වන අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම්, ආරක්ෂාව ඇතුළු කාරණා සම්පූර්ණ කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුවෙයි.
එහෙත් අනපේක්ෂිත ලෙස ඊයේ දින සිදු වූ මෙම සිදුවීමෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජීවිතයට යම් හානියක් සිදු වීමට වුව ඉඩ තිබූ බවයි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.
හදිසියේ විදුලිය විසන්ධි වීමක් සිදු වූයේ නම් එවැනි තත්ත්වයකදී විකල්පයක් සූදානම්ව පැවතිය යුතු වුවත් එවැන්නක් ද සම්පූර්ණ වී තිබුණේ නැත.
ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනය සහ විදුලි බල මණ්ඩලය යන සියලුම අංශවලින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතු බවයි අත්තනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.
(LNW)