Monday, May 20, 2024
Follow Us
නව ලිට්රෝ ගෑස් පිරවුම් සංකීර්ණය විවෘත කෙරේ

රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාර ගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යළිත් ස්ථාවර වී තිබෙන බවත්, ඉදිරියේ තිබෙන අභියෝග සඳහා ද මුහුණ දී රට තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කරමින් කඩුවෙල, මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (08) එක්වෙමිනි.

තිරසාර සංවර්ධනය සහ පොදුජන අවශ්‍යතා ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ලිට්‍රෝ සමාගම විසින් නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර, මෙමඟින් එක්ලක්ෂ අසූදහසකින් ගෑස් සිලින්ඩර් ධාරිතාව ඉහළ නැංවීමටත් සහ දෛනිකව ගෑස් සිලින්ඩර් 60000ක් නිකුත් කිරීමටත් සමාගම අපේක්ෂා කරයි.