Sunday, May 19, 2024
Follow Us
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න රජය කැපවී සිටිනවා - ඇමැති නලින් ප්‍රනාන්දු

මෙරට ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ  නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා  පහසුකම් සලසා දෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා බත්තරමුල්ලේදී පැවැති ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර පළාත් ශාඛාවේ සම්මාන රාත්‍රිය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර එකහමාරක් තිස්සේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ වැඩිම බලපෑමකට ලක්වූ ක්ෂේත්‍රයක් වූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බවයි. බැංකු පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය ඉහළ යාම, බලශක්ති අර්බුදය ආදී තත්ත්වයන් තුළ ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ පෑ බව ඔහු සදහන් කළේය. ඒ අනුව රජය විසින් මේ ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමට විශාල වෑයමක් ගත් බවත්, වසර එකහමාරකට පසු මේ 2024 වර්ෂය සඳහා රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විශාල මුදලක් වෙන් කර ඇත්තේ යළි ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් බව ද  අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රජය  නිසි ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම නිසා බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමටත්, සෘණ තත්ත්වයක් වාර්තා කළ රටේ ආර්ථිකය ඉක්මනින් ධන ආර්ථිකයක් බවට පරිවර්තනයටත්, උද්ධමනය සැලකිය යුතු අන්දමින් පහත හෙලීමට හැකිවූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එම හිතකර පරිසරය තුළ රජය ඉදිකිරීම් කටයුතුවල නියැලෙනවාට වඩා එය අභිබවා පෞද්ගලික අංශය ඉදිකිරීම් කටයුතුවල නියැලීම රටේ ආර්ථිකයට වඩා වැදගත් බවද  අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සිමෙන්ති, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය සැපයුම් ආශ්‍රිත භාණ්ඩ වල මිල ගණන් පහළ හෙලීමට තමන් දිගින් දිගටම ඔවුන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට රජය විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහාත්,ආනයන හා අපනයන අතර මනා කළමණාකරණයක් ගොඩ නංවා ගැනීම සඳහාත් විශාල වැඩකොටසක් ඉටු කර ඇති අතර ප්‍රථම වතාවට මුදල්  නෝට්ටු මුද්‍රණය කිරීමකින් තොරව දේශීයව ලබා ගන්නා ආදායමින් ආර්ථිකය කළමණාකරණය කිරීමට රජය සමත් වූ බවත්, බදු ආදායම ඉහළ නංවා ගැනීමට සමත් වූ බවත්, එම බදු මුදල් විනිවිදභාවයෙන් හා වගකීමෙන් ජනතාවට සහන සැලසීම සදහා යෙදවීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.