Sunday, April 28, 2024
Follow Us
මේ විදිහට ආණ්ඩු කරන්න බැරි නිසා ලංගමත්-දුම්රියත් භාණ්ඩාගාරයට දෙනවා

දුම්රිය හරස් මාර්ගවලට ආරක්ෂිත සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට අඩු වියදම් සහිත ක්‍රමවේදයක් මා ඉදිරිපත් කළත් තවමත් එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබී නැති බව  කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහා භාණ්ඩාගාරය මේ ගැන කරුණු විමසමින් වාර්තා ඉල්ලා සිටීම නිසා තවමත් මෙය ඇනහිට තිබෙන බවත් මේ අයුරින් ආණ්ඩුකරණය බැරි නිසා කැබිනට් මණ්ඩලය දැනුවත් කර දුම්රිය හා ලංගමය ලබන සතියේදී මහා භාණ්ඩාගාරයට පවරා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

“මීට පෙර සවි කර ඇති සංඥා ක්‍රමවලට මගේ කිසිම බැඳීමක් හෝ වගකීමක් නැහැ. ඒ ක්‍රමවලට විශාල පිරිවැයක් දරා තිබෙන නිසා මිනිස් හා සත්ත්ව ජීවිත ඉතා අඩු පිරිවැයකින් ආරක්ෂා කර ගනිමින් දුම්රිය සංඥා ගැටලු ප්‍රශ්නය විසඳීමට මා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙරට පුද්ගලික අංශයේ තාක්ෂණ ආයතනත් රාජ්‍ය නිර්මාණ විවිධ නීතිගත සංස්ථාවක් එක්කර ගනිමින් ලක්ෂ 15කට වඩා අඩු වියදමින් මේ සංඥා ගේට්ටු ක්‍රමය ඇති කිරීමට මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. එය බෙල් සහ ලයිට් දෙකම සහ මුර කුටියකින් ද සමන්විත රේල් ගේට්ටු ක්‍රමයක්. එහි නියමු ව්‍යාපෘතිය ගිය පොහෝ දිනයේදී ගොඩගම සවිකර අත්හදා බැලීමක්ද කළා. මේ වන විට බොහෝ කාලයක් ගත වෙලා. අප ඊට වැය වෙන ලක්ෂ 15ක මුදලින් හත්ලක්ෂ පන්සීයක් මාර්ග අනතුරු වැළැක්වීමේ ආයතනයෙන් ලබා දෙන්නත් ඉතිරි මුදල් සමාජ සත්කාර ලෙස විවිධ පාර්ශ්වවලින් ලබා දෙන්නත් බලාපොරොත්තු වුණා. විපක්ෂ නායකතුමාත් මට ඒ සඳහා සහාය දෙන්නම් කියලා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවත් කැබිනට් පත්‍රිකාවක් දාලා කරුණු ඉදිරිපත් කළා. එහිදී මහා භාණ්ඩාගාරය විවිධ කරුණු අහලා එවනවා. මේවාට කවුද තෑගි දෙන්නේ. සල්ලි දෙන්නේ කවුද කියලා අහනවා. මේ ආණ්ඩුකරණය මේ විදිහට කරන්න බැහැ. ඒ නිසා මම ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා දුම්රිය හා ලංගම දෙකම මහා භාණ්ඩාගාරයට භාර දෙනවා. අප මේවාට විසඳුම් ගෙන්න කොපමණ උත්සාහ කරත් කමිටු දාලා වාර්තා අරගෙන වාර්තා ඉදිරිපත් කරලා එනවිට මිනිස්සු මැරිලා ඉවරයි. සීටීබී එකත් ඒ වගේයි. සීටීබී එකට අවුරුදු 66ක් තිස්සේ බඳවා ගැනීම් හා උසස් වීම් පටිපාටියක් නැහැ. මේකට පටිපාටියක් හදන්න උත්සාහ කළාම කමිටු දානවා. වාර්තා ඉල්ලනවා. ඉවරයක් නැහැ. ඒ නිසා ඇමැතිවරයා ලෙස මටත් මගේ සභාපතිවරුන්ටවත් මේක කරන්න අමාරුයි. ඒ නිසා දුම්රිය දුවවන එකත් බස් දුවවන එකත් භාණ්ඩාගාරයට භාර දෙන්න තීරණය කළා. භාණ්ඩාගාරය බස් කෝච්චි දුවවලා ප්‍රවාහන සේවය පවත්වාගෙන යයි.“ යැයි අමාත්‍යවරයා එහිදී පැවසුවේය.