Saturday, November 28, 2026
Follow Us
රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් විදෙස් දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් 70,50,000ක පමණ වටිනාකමකින් යුත් විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ සිට පැමිණි AK45 දරන ගුවන් යානයෙන් ඊයේ (27) පෙරවරු 11.15ට පමණ මෙරටට පැමිණි වයස අවුරුදු 23ත් 32ත් අතර පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ව්‍යාපාරික ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් බව අනාවරණය වී තිබේ.

ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාර්ගය (Green Channel) ඔස්සේ පිටවීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගේ ගමන් මලු තුනක සඟවා තිබූ විදෙස් දුම්වැටි කාටූන් 235ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එම දුම්වැටි කාටූන්වල දුම්වැටි 47,000ක් අඩංගු වන අතර, ඒවායේ වටිනාකම රුපියල් 70,50,000ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.

අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය රාජසන්තක කිරීමටත්, සැකකරුවන් තිදෙනාට රුපියල් 175,000ක දඩ මුදලක් නියම කිරීමටත් පියවර ගෙන ඇත.