Thursday, April 18, 2024
Follow Us
ඇමරිකාව ප්‍රබල යුද ගුවන් යානයක් හඳුන්වා දෙයි

යානයේ වටිනාකම රුපියල් කෝටි 26,000ක්


ඇමරිකානු ගුවන් හමුදාව ඔවුන්ගේ නවතම සහ ප්‍රබලම යුද ගුවන් යානයක් හඳුන්වා දී තිබේ. බී – 21 රේඩර් (B – 21 Raider) නමින් හැඳින්වෙන මෙම යානය න්‍යෂ්ටික බෝම්බ හෙළීම වැනි කටයුතු සඳහා පවා භාවිත කළ හැකි යානයකි.

එමෙන්ම එහි තවත් විශේෂත්වයක් වන්නේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් තොරව පවා පියාසර කිරීමට හැකි වීමයි.

මේ වනවිට ලෝකයේ ඇති දියුණුම ගුවන් ආරක්‍ෂක පද්ධතිවලින් පවා බේරී පියාසර කිරීමේ හැකියාව ඊට ඇති බව ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කර තිබිණි.

මෙම යානා නිශ්පාදනය කරන්නේ නෝත්රොප් ගෲමන් නැමැති අවි නිශ්පාදන සමාගමකි. රේඩර් යානයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 700ක් පමණ වනු ඇති බවද සඳහන්ය.

එය ලංකා මුදලින් රුපියල් කෝටි 26,000ක් පමණ වේ. ඇමරිකානු ගුවන් හමුදාවට මෙවැනි අලුත් වර්ගයක යානයක් එක් වන්නේ වසර 30කට පමණ පසුව බවද පැවසේ.

මෙය මේ වනවිට ඇමරිකානු ගුවන් හමුදාව සතුව ඇති බෝම්බ හෙළන ගුවන් යානා සියල්ලට වඩා නවීනතම තාක්‍ෂණයක් භාවිත කරන්නකි.

දැනට නිපදවා ඇති බෝම්බ මෙන්ම ඉදිරියේදී නිපදවීමට නියමිත බෝම්බ වර්ගද මෙහි රැගෙන යෑමට හැකි වනු ඇත. ඇමරිකානු ගුවන් හමුදාව ඉදිරි කාලයේ මෙවැනි යානා 100ක් ඉහත කී සමාගමෙන් මිලදී ගැනීමට නියමිතය.

Aruna