Wednesday, April 24, 2024
Follow Us
ඉන්දියාව G20 සභාපතිත්වය භාරගනියි

ඉන්දියාව (01) දින ඉන්දුනීසියාවේ සිට G20 සභාපතිත්වය නිල වශයෙන් භාර ගත්තේය.

මෙම අවස්ථාව සනිටුවහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් G20 සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැක්ම පිළිබඳව ලිපියක් පළ කර තිබේ.

සිය ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සුවය, සහජීවනය සහ බලාපොරොත්තුව ඇති සභාපති ධූර කාලයක් අපේක්ෂා කරන බවයි.

ඉන්දියාව විසින් 2023 නොවැම්බර් 30 දක්වා G20 සභාපතිත්වය උසුළනු ඇත.

නොවැම්බර් 8දා මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දියාවේ G20 සභාපතිත්වයේ නිල ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය එළිදක්වනු ලැබීය.

G20 සභාපතිත්වයේ තේමාව වන “වාසුධායිව කුටුම්භකම්” හෙවත් “එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්” යන්න පෞරාණික සංස්කෘත ග්‍රන්ථයක් වන මහා උපනිෂද් ඇසුරින් ගන්නා ලද්දකි. මෙම තේමාව සියලු ජීවයේ එනම් මිනිස්, සත්ව, ශාක සහ වෙනත් ක්ෂුද්‍ර ජීව කොටස් හි අගය සහ පෘථිවිය මත සහ පුළුල් විශ්වය තුළ ඒවායේ අන්තර් සම්බන්ධතාවය පිළිඹිබු කරයි. එසේම එය වඩා පිරිසිදු, වඩා හරිත සහ නිල්වන් අනාගතයක් උදෙසා ගෝලීය වශයෙන් පරිවර්තනීය වෙනස්කම් වෙත මඟ පාදන පුද්ගල ජීවන විලාසිතා මෙන්ම ජාතික සංවර්ධනය යන මට්ටමෙන් පාරිසරික වශයෙන් තිරසාර, වගකීමක් සහිත තේරීම් හා සබැඳි “පරිසරය සඳහා ජීවන විලාසිතාව” (Lifestyle for Environment – LiFE) යන සංකල්පය ද මතුකර දක්වයි.

G20 නිල ලාංඡනය ඉන්දියානු ජාතික ධජයේ තැඹිලි, සුදු සහ කොළ යන විචිත්‍ර වර්ණයන්ගෙන් ද නිල් පැහැයෙන් ද සමන්විත වේ. අභියෝග මැද වර්ධනය පිළිඹිබු කරන ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙළුම් මල පෘථිවි ගෝලය සමඟින් යොදා ඇත. පෘථිවි ගෝලය ස්වභාව ධර්මය හා පරිපූර්ණ වශයෙන් සුසංයෝගී වන ජීවිතය සඳහා ඉන්දියාවේ පෘථිවි හිතකාමී ප්‍රවේශය පිළිඹිබු කරයි. G20 ලාංඡනයට පහළින් “භාරත්” යන වචනය දේවනාගරි අකුරින් දක්වා ඇත.

නිල ලාංඡනය සහ තේමාව ඉන්දියාවේ G20 සභාපතිත්වයේ කේන්ද්‍රීය අවධානය පැහැදිලිව සහ ශක්තිමත්ව ගෙන හැර දක්වයි. G20 සභාපතිත්වය සඳහා ඉන්දීය අනන්‍යතාවයකින් යුත් ප්‍රවේශය මෙම අභියෝගාත්මක කාලයේදී අවට පරිසර පද්ධතිය සමඟ සුසංයෝගයෙන් ජීවත් වීම සහ ලොව සැමට තිරසාර, සාකල්‍ය, වගකීම් සහගත සහ සැවොම ඇතුළත් වන අයුරින් සාධාරණ සහ සමාන වර්ධනය ළඟා කරගැනීම අවධාරණය කරයි.

G20 සභාපතිත්වය අන්තර්ජාතික වැදගත්කමකින් යුත් වැදගත් ගැටළු පිළිබඳ ගෝලීය න්‍යාය පත්‍රයට දායකත්වය ලබා දීමට ඉන්දියාවට අවස්ථාවක් හිමි කර දේ. එසේම ඉන්දියාවේ G20 සභාපතිත්වය 2022 අගෝස්තු 15වන දින 75වන නිදහස් දින සංවත්සරයෙන් ඇරඹී 2047 වර්ෂයේ සියවන නිදහස් දිනය දක්වා වන වසර 25ක “අම්රිත්කාල්” කාලය ඇරඹීම ද සනිටුහන් කරයි. මෙය මානුෂවාදී ප්‍රවේශයක් කේන්ද්‍ර කරගත් අනාගතවාදී, සෞභාග්‍යමත්, සැවොම ඇතුළත් වන සහ සංවර්ධිත සමාජයක් උදෙසා යන ගමනකි.

G20 සභාපති ධූරය හොබවන කාලය තුළ ඉන්දියාව රට පුරා විවිධ ස්ථානයන්හි විවිධ ක්ෂේත්‍රයන් 32කට අදාළ හමු 200ක් පමණ පවත්වනු ඇත.G20 රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 9-10 නව දිල්ලියේ දී පැවැත්වෙනු ඇත. බංග්ලාදේශය, ඊජිප්තුව, මොරිෂස්, නෙදර්ලන්තය, නයිජීරියාව, සිංගප්පූරුව, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ‘ආරාධිත රටවල්’ ලෙස ආරාධනා ලබනු ඇත.

Mirror