Tuesday, February 17, 2026
Follow Us
ලංකාවට ආධාර දෙන යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී ඒකමතිකව සම්මත වෙයි

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට ආධාර ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින් ඉදිරිපත් කළ යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී අද ඒකමතිකව සම්මතවූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකාවේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, කිරිපිටි සහ ඖෂධ ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙසටයි එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ.

සහල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක්, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 137 ක් සහ ළමුන් සඳහා කිරිපිටි ටොන් 500 ක් ඇතුලු ඉන්දිය රුපියල් කෝටි 123 ක ආධාර ලබාදීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රාන්ත රජයට වෙනත් රටකට සෘජුව ආධාර ලබාදිය නොහැකි බැවින් ඒ සඳහා ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ අවසර ලබාගත යුතු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

(Neth)