Saturday, November 14, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ  කසකස්තානය අතර AI ගැන ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ජාතික AI දත්ත මධ්‍යස්ථානය, ඩිජිටල් මහජන යටිතල පහසුකම් (DPI) සහ AI පාලන රාමු පිළිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා කසකස්තාන නියෝජිත පිරිස සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ(13) ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

 

මෙම සාකච්ඡාවේදී කසකස්තානයේ ජාතික AI දත්ත මධ්‍යස්ථානයේ ධාරිතාව, ස්වෛරී සත්කාරකත්වය සහ රාජ්‍ය ආයෝජන ආකෘතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.
දත්ත ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා රජයේ සෘජු ආයෝජනයෙන් විශාල ජාතික දත්ත මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතින බව කසකස්තාන පාර්ශ්වය මෙහි දී තහවුරු කළ අතර, ශ්‍රී ලංකාවේ ධාරිතා අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා වන ක්‍රමවේදය, විදුලි බල අවශ්‍යතා සහ ප්‍රාග්ධන ආයෝජන පිළිබඳව තාක්ෂණික කරුණු හුවමාරු කර ගැනීමට එකඟ විය.
 
එමෙන්ම, කසකස්තානයේ "Smart Bridge" ඒකාබද්ධතා වේදිකාව හරහා සෞඛ්‍ය, වෛද්‍ය, දේපළ සහ රාජ්‍ය සේවා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඩිජිටල් සේවා අතර අඛණ්ඩ අන්තර් ක්‍රියාකාරීත්වය ඇති කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
 
පුරවැසි කැමැත්ත මත පදනම් වූ මධ්‍යගත දත්ත හුවමාරු ආකෘතිය, ජාතික දත්ත හුවමාරුව (NDX) හරහා ක්‍රියාත්මක වන දැඩි ආරක්ෂක සහ වංචා වැළැක්වීමේ ප්‍රමිතීන් මෙන්ම, ඒකාබද්ධ සත්‍යාපන රාමුවක් යටතේ ක්‍රියාත්මක වන SuperApp පද්ධතිය පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.
 
තව ද, පුරවැසියන්ට හඬ සහ පෙළ හරහා රාජ්‍ය සේවා වෙත සෘජුවම සම්බන්ධ වීමට හැකි e-Gov GPT, රාජ්‍ය සේවකයින් සඳහා වූ ආරක්ෂිත අභ්‍යන්තර GPT පද්ධතිය සහ කසකස්තානයේ දේශීය භාෂා ආකෘතිය වන KazLLM පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. දීර්ඝ ටෙන්ඩර් ක්‍රියාවලීන් වෙනුවට පැහැදිලි නායකත්ව දැක්මක් යටතේ විශ්වාසදායී තාක්ෂණික සහකරුවෙකු සමඟ සෘජු ක්‍රියාත්මක කිරීම කෙරෙහි කසකස්තානය යොමු වී ඇති ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් විය.
 
මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් ආර්ථිකය සහ AI යටිතල පහසුකම් සැලැස්ම ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් තුළින් ස්වෛරී, ආරක්ෂිත සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රාජ්‍යයක් ගොඩනැගීමටත් වැදගත් පියවරක් වනු ඇත.
 
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ GovTech සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, කසකස්තාන කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ අසෙම් කප්පාර් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.