Friday, August 07, 2026
Follow Us
පරිසර හිතකාමී සහන සත්කාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට ප්රදේශයේ පරිසර හිතකාමී සහන සත්කාර (Eco-Friendly Palliative Care) මධ්යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය සහ ඕස්ට්රේලියාවේ ශාන්ති පදනම (Shanthi Foundation Australia -SFA) අතර අවබෝධතා ගිවිසුමට (MOU) අද (07) අත්සන් තැබිණි.

 

සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා සහ ශාන්ති පදනමේ නිර්මාතෘ හා සභාපති විශේෂඥ වෛද්ය සුහර්ෂ රුවන් කනතිගොඩ මහතා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී මෙම අවබෝධතා අත්සන් තබන ලද අතර, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන සහ වෛද්ය කපිල කන්නංගර මහතා ද එක්ව සිටියහ.
 
ඉදිකිරීමට නියමිත මෙම සහන සත්කාර මධ්යස්ථානය අවශ්ය සියලු උපකරණ ද සහිතව රුපියල් මිලියන 300 ක පමණ ආයෝජනයකි.
 
මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වන්නේ දැඩි ලෙස රෝගාතුර වූ සුව කළ නොහැකී තත්ත්වයේ පසුවන රෝගින් සහ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේ පසුවන රෝගීන් සඳහා ශාරීරික, මානසික, සාමාජීය සහ අධ්යාත්මික සහනය නොමිලේ සපයන පරිසර හිතකාමී උසස් මට්ටමේ රෝගී සත්කාර සේවා මධ්යස්ථානයක් පිහිටුවීමයි.
 
මෙම සහන සත්කාර මධ්යස්ථානය සනීපාරක්ෂක පහසුකම් ද සහිතව කාමර 20 කින් සමන්විත වන අතර, සහන සත්කාර සම්බන්ධ විශේෂඥ වෛද්ය, වෛද්ය, හෙද ඇතුලු සෞඛ්ය කාර්ය මණ්ඩල පුහුණු මධ්යස්ථානයක්, පර්යේෂණ මධ්යස්ථානයක් ද ඇතුළත් වේ. ඕස්ට්රේලියාවේ සිට මෙම සහන සත්කාර මධ්යස්ථානයේ කටයුතු Ongoing ක්රමවේදය (Ongoing Method / Process) යටතේ නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර ඇත. වසර දෙකහමාරක් වැනි කාලයකින් පසු මෙරට සෞඛ්ය පද්ධතියටම මෙම මධ්යස්ථානය පවත්වාගෙනයාමට ලබාදීමට ද නියමිතය.
 
මෙම ව්යාපෘතිය මඟින් සහන සත්කාර සේවා ශක්තිමත් කිරීම, සෞඛ්ය කාර්ය මණ්ඩලයට විශේෂිත පුහුණුව ලබාදීම, පරිසර හිතකාමී ඉදිකිරීම් හා තිරසාර මෙහෙයුම් ක්රමවේද ප්රවර්ධනය කිරීම, සහන සත්කාර පිළිබඳ ප්රජා දැනුවත්භාවය ඉහළ නැංවීම සහ මහජන සෞඛ්ය පද්ධතිය තුළ එම සේවාවන් තවදුරටත් වර්ධනය කිරීම වැනි ප්රධාන අරමුණු සාක්ෂාත් කිරීමට නියමිතය.
 
ගිවිසුම යටතේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය මෙන්ම සබරගමුව පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් නීතිමය හා ප්රතිපත්තිමය මාර්ගෝපදේශ ලබාදීම, අවශ්ය අනුමැති ලබාගැනීම, ඉඩම් හා මානව සම්පත් සම්බන්ධීකරණය සහ මධ්යස්ථානයේ මෙහෙයුම් සඳහා අවශ්ය රාජ්ය සහාය සැපයීමට කටයුතු කරන අතර, ශාන්ති පදනම මූල්ය, තාක්ෂණික හා ද්රව්යමය සහාය ලබාදීම, සැලසුම්කරණය, දැනුම හුවමාරුව සහ පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා දායකත්වය ලබාදීමට නියමිතය.
 
මෙම ව්යාපෘතිය මගින් රත්නපුර දිස්ත්රික්කයේ සහ සමස්ත ශ්රී ලංකාවේම සහන සත්කාර සේවාවන්හි විශාල ප්රගතියක් ඇති කිරීමට අපේක්ෂිතය.
 
Palliative Care සත්කාර (පාලක සත්කාර / වේදනා නාශක සත්කාර) යනු සුවකළ නොහැකි හෝ දීර්ඝකාලීන බරපතල රෝගාබාධවලින් පෙළෙන රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය (Quality of Life) ඉහළ නැංවීම සඳහා ලබාදෙන විශේෂිත වෛද්ය සහ මානුෂීය සත්කාර ක්රමවේදයකි.